සහරාන්ගේ හා දියණියේ DNA සමානයි - රස පරීක්ෂක වාර්තා අධිකරණයට

 ඡායාරූපය:

සහරාන්ගේ හා දියණියේ DNA සමානයි - රස පරීක්ෂක වාර්තා අධිකරණයට

ජාතික තවුහිද් ජමාත් සංවිධානයේ නායකයා වූ සහරාන් මොහොමඩ් හෂීම් නැමැත්තා හා වසර 4ක් වයසැති ඔහුගේ දියණියගේ  DNA සැසඳෙන බව රජයේ රස පරීක්ෂකවරයා කොළඹ කොටුව මහේස්ත‍්‍රාත් රංග දිසානායක මහතා වෙත වාර්තාවක් මඟින් දැනුම් දී තිබේ.

 

මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරයක් සිදු කළ ත්‍රස්ත නායකයාගේ ශරීර කොටස්, හිසකෙස් ඇතුළු කොටස් රජයේ රස පරීක්ෂකවරයාට යොමු කිරීමෙන් අනතුරුව රජයේ රස පරීක්ෂකවරයා මේ වාර්තාව අධිකරණය වෙත යොමු කර තිබේ. සහරාන් ගමන් කළ බව කියන වාහන හත අපරාධමය සිද්ධීන් සඳහා යොමු වී නැති බවට සිදු කළ විමර්ශනවලින් අනාවරණය වී ඇතැයි අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අපරාධමය ස්ථානයේ තිබී හඳුනා නොගත් ශරීර කොටස් ජෛව විවිධත්වයන් හරහා හඳුනා ගැනීමට අධිකරණ වෛද්‍ය නිලධාරියා හරහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටි අතර ඒ සඳහා මහේස්ත්‍රාත්වරයා අවසර ලබා දුන්නේය.

 

එමෙන්ම අපරාධමය ස්ථානයන්හි සිදු කළ පරීක්ෂාවන්හිදි අතුඅඩංගුවට ගත් රුපියල් කෝටි තුනකට ආසන්න මුදල් සහ රන්භාණ්ඩ ඇතුළු වටිනා භාණ්ඩ මහ බැංකුවේ සේප්පුවක බහා තබන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එමෙන්ම සහරාන් නැමැති ත්‍රස්ත නායකයාගේ බිරිඳ වන ‍අබ්දුල් කාදර් ෆාතිමා සාදියා නැමැත්තිය රඳවා ප්‍රශ්න කරන බවද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් බඩල්කුඹුරේ තිබු කඩු තුනක්ද සහරාන් භාරයේ තිබි අත්අඩංගුවට ගත් භාණ්ඩද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළේය. සිද්ධියට අදාළ නඩුව ලබන 6 වැනිදා යළි කැඳවන ලෙස මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය.