අල්ලස් ගත් පොලිස් සැරයන්ට වසර 16ක සිර දඬුවම්

 ඡායාරූපය:

අල්ලස් ගත් පොලිස් සැරයන්ට වසර 16ක සිර දඬුවම්

අල්ලස් චෝදනා සම්බන්ධයෙන් වරදකරු කෙරුණු පොලිස් සැරයන්වරයෙකුට වසර 16ක සිරදඬුවම් නියම කළ කොළඹ මහාධිකරණය එම සිරදඬුවම වසර හතරකින් ගෙවිය යුතු බවත් ඊට අමතරව විත්තිකරුට රුපියල් විසි දහසක දඩයක් නියම කරන බවත් කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා නියෝග කර තිබේ.

 

නීති විරෝධී මත්පැන් පෙරීමේ කටයුතුවල නිරතව සිටි පුද්ගලයෙකුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකිරීම සඳහා කහවත්ත පොලීසියේ සේවය කළ විත්තිකාර හිටපු පොලිස් සැරයන්වරයා රුපියල් 15000ක අල්ලසක් ඉල්ලා තිබේ.  එම මුදල ලබා ගත් අවස්ථාවේදී අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් මෙම විත්තිකරු අත්අඩංගුව ගනු ලැබූ අතර පසුව අල්ලස් කොමිසම විසින් මොහුට එරෙහිව කොළඹ මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබිණි.

 

දීර්ඝ නඩු විභාගයකින් පසුව කොළඹ මහාධිකරණ විනිසුරු ප්‍රදීප් හෙට්ටිආරච්චි මහතා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව එල්ල කර තිබෙන චෝදනා සාධාරණ සැකයකින් තොරව ඔප්පු වී තිබෙන බවයි. ඒ අනුව ඔහු වැරදිකරු කරන බව නඩු තීන්දුවේ සඳහන් වී තිබේ.