විදුලිබලයට ඉදිරි වසර කිහිපය තුළදී න්‍යෂ්ටික බලශක්තිය

 ඡායාරූපය:

විදුලිබලයට ඉදිරි වසර කිහිපය තුළදී න්‍යෂ්ටික බලශක්තිය

විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය වෙනුවෙන් ඉදිරි වසර කිහිපය තුළදී න්‍යෂ්ටික බලශක්තිය උපයෝගී කරගැනීමට කටයුතු කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. ශ්‍රී ලංකාවේ විදුලිබල ක්ෂේත්‍රයේ සංවර්ධනය උදෙසා න්‍යෂ්ටික තාක්ෂණය යොදාගැනීමේ ඇති ආර්ථික සහ වාණිජ මට්ටමෙන් ඇති වැදගත්කම සම්බන්ධයෙන් ඊයේ (22) පැවති දැනුවත් කිරීමේ වැඩමුළුවක ප්‍රධාන ආරාධිත අමුත්තා වශයෙන් සහභාගි වෙමින් අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේය.

අන්තර් ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ ශ්‍රී ලංකා නියෝජිත වශයෙන් කටයුතු කරනු ලබන ශ්‍රී ලංකා පරමාණුක බලශක්ති මණ්ඩලය විසින් මෙම වැඩමුළුව සංවිධානය කර තිබූ අතර බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වූ මෙම වැඩමුළුවේදී අනාගතයේදී ලෝකය මුහුණදෙන බලශක්ති අර්බුධයට පිළියමක් වශයෙන් සෙසු රටවල් විසින් දැනටමත් න්‍යෂ්ටික තාක්ෂණය යොදාගනු ලබන අතර ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් මෙම තාක්ෂණය උපයෝගී කරගනු ලබන්නේ කෙසේදැයි  විමසා බැලේ.

ලංකා විදුලිබල මණ්ඩලය විසින් සකස්කර ඇති දීර්ඝකාලීන විදුලි ජනන සැලැස්මට අනුවද වසර 2036 වකවානුව වන විට විදුලිබල ක්ෂේත්‍රය වෙනුවෙන්ද න්‍යෂ්ටික ශක්තිය ආදේශනය කිරීමට වෙතැයි අපේක්ෂා කරන අතර ඒ සඳහා ශක්‍යතා අධ්‍යයන සිදුකිරීමද මෙම වැඩමුළුව මඟින් අපේක්ෂා කෙරේ. පසුගිය වසර වසර තුළ මෙවැනි අධ්‍යයනයන් 07ක් පමණ සිදුකර ඇති අතර 2019 වසරේදී අධ්‍යයනයන් 02ක් සිදුකර ඇති බව ශ්‍රී ලංකා පරමානුක බලශක්ති අධිකාරිය පවසයි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“ ශ්‍රී ලංකාව ආර්ථික ප්‍රශ්නවලට මුහුණ දෙන රටක් වශයෙන් මෙම තත්ත්වය ළඟාකර ගැනීමේදී අසීරුතා ඇතිවේවි. මේ වනවිට සිදුකෙරෙන අපේ දෛනික විදුලි උත්පාදන මට්ටම, ඉදිරියේදී න්‍යෂ්ටික ශක්තිය යොදාගැනීම තුළින් වඩාත් ප්‍රශස්ත මට්ටමකට නැංවිය හැකියි. ඒ නිසා කිසිදු බාධා කිරීමකින් තොරව, රජයක් වශයෙන් ඒ සඳහා ලබාදිය හැකි උපරිම සහයෝගය ලබාදීමට මම බලාපොරොත්තු වෙනවා. මම විශ්වාස කරනවා ලංකාවට මෙම තාක්ෂණය උපයෝගී කරගනිමින් සාර්ථකත්වයක් ළඟාකර ගැනීමට හැකි වේවි කියලා. කෘෂිකර්මාන්තය, සෞඛ්‍ය වගේ ක්ෂේත්‍රයන් වෙනුවෙන්ද මෙම න්‍යෂ්ටික බලශක්තිය සාර්ථකව උපයෝගී කරගත හැකියි. මේ තුළින් ශ්‍රී ලාංකික ප්‍රජාවටත් ආයෝජකයින්ටත් සුවිශේෂී ප්‍රතිලාභයන් ලබාගැනීමට හැකිවේවි. න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රය සම්බන්ධයෙන් අප සතු දැනුම ඉතාමත් අල්පයි. ඒ නිසා අන්තර් ජාතික පරමාණුක බලශක්ති ඒජන්සියේ සහ සෙසු අන්තර් ජාතික ආයතනයන්හි සහයෝගය අපේක්ෂා කරනවා. විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශය වශයෙන් න්‍යෂ්ටික බලශක්ති ක්ෂේත්‍රය ලංකාවේ ව්‍යාප්ත කිරීම වෙනුවෙන් අවශ්‍ය උපදෙස් සහ මගපෙන්වීම් ලබාදීමට බලාපොරොත්තු වෙනවා. සාර්ක් කලාපිය රටවල් අතර බලශක්ති හුවමාරු ක්‍රමවේදයන් ඇතිකිරීමටද මේ තුළින් හැකිවෙතැයි අපේක්ෂා කරනවා.