ඉදිරි පැය 24 තුළ මුහුදේ රළු ස්වභාවයක් - ධීවරයන්ට අනතුරු ඇඟවීම්

 ඡායාරූපය:

ඉදිරි පැය 24 තුළ මුහුදේ රළු ස්වභාවයක් - ධීවරයන්ට අනතුරු ඇඟවීම්

ඉදිරි පැය 24 තුළ පුත්තලම, කොළඹ - ගාල්ල හරහා මාතර දක්වා මුහුදු ප්‍රදේශවල සුළඟේ වේගය පැයට කිලෝමීටර් 60-70 දක්වා වැඩි විය හැකි බැවින් ධීවර හා නාවික ප්‍රජාව අවධානයෙන් සිටින ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

 

හලාවත සිට කොළඹ සහ ගාල්ල හරහා මාතර දක්වා වූ වෙරළාසන්න ප්‍රදේශවල මුහුදු රළ මීටර් 2.5ත්, 3.5ත් අතර ප්‍රමාණයකින් ඉහළ යාමේ හැකියාව පවතියි. දිවයිනේ සුළං තත්ත්වය ලබන 22 වැනිදා බලපැවැත්වෙන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අවධාරණය කරයි. වයඹ, බස්නාහිර, නිරිත හා දකුණ යන පළාත්වල මුහුදු ප්‍රදේශවල එය වඩාත් බලපානු ලබන අතර බස්නාහිර, දකුණු, මධ්‍යම, සබරගමුව, වයඹ හා උතුරුමැද පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයෙත් තරමක තද සුළං ඇතිවිය හැකියි.

 

මේ අතර බලංගොඩ, රත්නපුර හා නුවරඑළිය යන ප්‍රදේශවල නායයෑම් අනතුරු සිදුවිය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු අඟවා තිබේ. අයහපත් කාලගුණය හේතුවෙන් සබරගමුව පළාතේ පවුල් 3845ක් හා මධ්‍යම පළාතේ 21094 බලපෑමට ලක්ව සිටියි. සබරගමුව පළාතේ පීඩාවට පත් පිරිස 13368ක් වන අතර මධ්‍යම පළාතේ එම ප්‍රමාණය 75598කි.