ඒකාධිපතියකුට බලය දෙන්නේ නැහැ : සම්බන්දන්

 ඡායාරූපය:

ඒකාධිපතියකුට බලය දෙන්නේ නැහැ : සම්බන්දන්

දෙමළ ජනතාව ඝාතනයකට ලක් කරමින් දෙමළ ජනතාවට කෲර අන්දමින් සලකමින් ඒකාධිපති පාලනයක් ගෙනගිය පිරිසකට යළිත් රජයක් බාර දීමට නොහැකි නිසා ආණ්ඩුවට එරෙහි විශ්වාසභංගය පරාජය කිරීමට සහාය වූ බව දෙමළ ජාතික සන්ධානයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී ආර්. සම්බන්දන් මහතා පැවසීය.

ආණ්ඩුවට එරෙහිව ජනතා විමුක්ති පෙරමුණ විසින් ගෙන ආ විශ්වාසභංග යෝජනාවට විරුද්ධව දෙමළ ජාතික සන්ධානය ඡන්දය ප්‍රකාශ කිරීම පිළිබඳ පෙරේදා (15) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ආර්. සම්බන්දන් මන්ත්‍රීවරයා මේ බව පැවසීය.

මෙම විශ්වාසභංගයෙන් ආණ්ඩුව පරාජයට පත් වූවා නම් බලයට එන ආණ්ඩුව සම්බන්ධයෙන් හොඳින් දැනුවත්ව සිටි බවත් ඔවුන් බලයට පැමිණියහොත් නැවතත් දෙමළ ජනතාවට අයහපතක් පමණක් සිදුවන බවත් එම නිසා විශ්වාසභංගය පරාජය කළ බවත් ආර්. සම්බන්දන් මහතා පැවසීය.

"මොන දේ නිසාවත් ඒකාධිපති පාලකයෙකුට බලය දෙන්නේ නැහැ. පසුගිය ආණ්ඩුවට සාපේක්ෂව වත්මන් ආණ්ඩුව දෙමළ ජනතාව වෙනුවෙන් යහපත් කාර්යන් කිහිපයක් හෝ සිදු කර තියෙනවා. දෙමළ ජනතාවගේ මූලික ගැටලු විසඳන්න මේ ආණ්ඩුවේ නායකත්වය වගවීමෙන් සිටිනවා. ඇතැම් ගැටලු කඩිනමින් විසඳීමට ආණ්ඩුවේ නායකත්වය අපට පොරොන්දු වී තිබෙනවා. නමුත් තව වසරකින් පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙනවා. මේ ආණ්ඩුව මාර්ගයෙන්ම දෙමළ ජනතාවගේ ගැටලු වලට විසඳුම් ගෙන එන්න ඕනෑ. මෙයද සැලකිල්ලට අරගෙන තමයි විශ්වාසභංගයට එරෙහිව කටයුතු කළේ "යැයිද සම්බන්දන් මහතා වැඩිදුරටත් පැවසීය.

[රසුල දිල්හාර ගමගේ]

මාතෘකා