නුවරඑළියටත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පළාත් කාර්යාලයක්

 ඡායාරූපය:

නුවරඑළියටත් පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ පළාත් කාර්යාලයක්

පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ මධ්‍යම පළාත් කාර්යාලය ඉදිකිරීම් කටයුතු අද (15) නුවරඑළියේදී අභ්‍යන්තර හා ස්වදේශ කටයුතු සහ පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය වජිර අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදුකිරීමට නියමිතය.

 

රුපියල් ලක්ෂ 1544ක වියදමින් මේ සඳහා නව ගොඩනැගිල්ලක් නුවරඑළිය ලේඩි මැකලම් ඩ්‍රයිව්හිදී ඉදිකිරීම සිදුකරයි. ජාතික හැඳුනුම්පත් සම්බන්ධ ගැටලු වැඩිම ප්‍රමාණයක් ඇති දිස්ත්‍රික්කය ලෙස නුවරඑළිය දිස්ත්‍රික්කය හඳුනාගෙන තිබීම හේතුවෙන් පළාත් කාර්යාලය නුවරඑළියේ ඉදිකිරීමට තීරණය කළ බව අමාත්‍ය වජිර අබේවර්ධන මහතා පවසයි.

 

මාතලේ දිස්ත්‍රික්කයේ ජනතාවට කුරුණෑගල පිහිටි පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ වයඹ පළාත් කාර්යාල සමීප බැවින් මධ්‍යම පළාත් කාර්යාලය නුවරඑළියේ ස්ථාපිත කිරීම ගැටලුවක් නොවන බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරයි. මේ වන විට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ පළාත් කාර්යාල තුනක් ස්ථාපිත කර ඇති අතර උතුරු පළාත් කාර්යාලය වව්නියාව දිස්ත්‍රික්කයේද, නැගෙනහිර පළාත් කාර්යාලය මඩකලපුවේද, වයඹ පළාත් කාර්යාලය කුරුණෑගලද පිහිටුවා ඇත. දකුණු පළාත් කාර්යාලය ගාල්ල දිස්ත්‍රික්කයේ ස්ථාපිත කිරීමටද මේ වනවිට එම දෙපාර්තමේන්තුව සැලසුම් කර තිබේ. ඒ පිළිබඳව වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

 

 

“ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සහ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් හා මගපෙන්වීම යටතේ රාජ්‍ය සේවය හැකිතරම් ජනතාව සමීප කරමින් වඩාත් කාර්යක්ෂම සේවාවක් ලබාදීම සඳහා පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවත් පළාත් මට්ටම දක්වා ගෙනයාමේ වැඩපිළිවෙල රජය විසින් ක්‍රියාත්මක කරනවා. මේ එහි තවත් එක පියවරක්. පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුවේ එක්දින සේවාව දැනට ක්‍රියාත්මක වෙන්නේ කොළඹ ප්‍රධාන කාර්යාලයේ පමණයි. නමුත් මධ්‍යම පළාත් කාර්යාලයේ සේවාවන් ආරම්භ කිරීමත් සමඟ පළාත් කාර්යාල වෙතින්ද  එක්දින සේවාව ලබාදීමට සැළසුම් කර තිබෙනවා. එය ජනතාවව වඩාත් පහසුවක් වේවි.”