ජාවාරම්කරුවන්ට ජයපැන් බොන්න දෙන්න එපා : ජනපති

 ඡායාරූපය:

ජාවාරම්කරුවන්ට ජයපැන් බොන්න දෙන්න එපා : ජනපති

මරණීය දණ්ඩනය අහෝසි කිරීමේ පනත පාර්ලිමේන්තුවට ගෙන එන දිනය කුඩුකාරයන්ට, පාතාලයට සහ ස්තී‍්‍ර දූෂකයන්ට රට භාර දෙන දිනයක් බැවින් එය මේ රටේ ජාතික ශෝක දිනයක් බවට පත් කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.

මහවැලි ජනපදිකයන් 5,000කට ඉඩම් ඔප්පු පිළිගැන්වීම වෙනුවෙන් ඊයේ (14) පෙරවරුවේ වලව කලාපයේ නේවාසික ව්‍යාපාර කළමනාකාර කාර්යාලයීය ක්‍රීඩාංගණයේදී පැවති උත්සවය අමතමින් ජනාධිපතිවරයා මේ බව පැවසීය. මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වැඩිදුරටත් කියා සිටියේ මරණීය දණ්ඩනය අහෝසි කිරීම සඳහා ආණ්ඩුවේ කිහිප දෙනෙකුට අවශ්‍ය පරිදි පාර්ලිමේන්තුවට පනතක් ගෙන ඒමට සැරසීම තුළින් ජය පැන් බොන්නේ මේ රටේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සහ අපරාධකරුවන් බවයි.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට සහ අපරාධකරුවන්ට මේ රටේ දරුවන්ගේ අනාගතය විනාශ කිරීමට තමා ඉඩ නොතබන බවත් මරණීය දණ්ඩනය ලබාදීමට ගත් තීන්දුව කිසිසේත් ආපසු නොහරවන බවත් ජනාධිපතිවරයා අවධාරණය කළේය. ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මරණීය දණ්ඩනය ලබාදීම පිළිබඳව ගත් තීන්දුවට ඇතැම් පිරිස් එරෙහි වී ඇත්තේ විදේශ බලවේගයන්ගේ අවශ්‍යතා අනුව බවයි. එබැවින් මරණීය දණ්ඩනය රටට අවශ්‍ය බවට රටට සහ දරුවන්ට ආදරය කරන ජනතාව අතරින් පුළුල් ජනහඬක් ගොඩනැගිය යුතු බව පැවසු ජනාධිපතිවරයා ඊට එක්වන ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින බවද කියා සිටියේය.

[ශිවන්ති ප්‍රනාන්දු]