ලංකාව සංවර්ධිත රටක් කළ හැක්කේ ජාතික,ආගමික හා දේශපාලනික සමඟිය ඇති කරගැනීමෙන් පමණයි

 ඡායාරූපය:

ලංකාව සංවර්ධිත රටක් කළ හැක්කේ ජාතික,ආගමික හා දේශපාලනික සමඟිය ඇති කරගැනීමෙන් පමණයි

ශ්‍රී ලංකාව සංවර්ධිත රටක් බවට පත් කර ගත හැක්කේ ජාතික, ආගමික හා දේශපාලනික සමඟිය ඇති කර ගැනීමෙන් පමණක් බව කතානායක කරූ ජයසූරිය මහතා පවසයි. කතානායකවරයා මේ බව ප්‍රකාශ කළේ අද (11) දේශයේ ඒකීයත්වය සහ ස්වෛරීත්වය වෙනුවෙන් රුදුරු ත්‍රස්තවාදී ප්‍රහාරය හමුවේ තම සෙබල සොයුරන් වෙනුවෙන් දිවි පිදූ අභීත රණවිරු කෝප්‍රල් හසළක ගාමිණී කුලරත්න රණවිරුවාගේ 28 වෙනි ගුණ සමරුව වෙනුවෙන් කොළඹ පැවති උත්සවයකට එක්වෙමිනි.

 

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සිදු වී ඉතා සුළු කාලයක් තුළදී ත්‍රිවිධ හමුදාව එය පාලනය කළ බවත් ඇතැම් සුළු පිරිසක් විසින් සිදු කළ මනුෂ්‍යත්වයට එහා ගිය ගෙවල් ගිනි තැබීම්, පහරදීම් වැනි ලැජ්ජා සහගත ක්‍රියා නිසා රටේ කීර්ති නාමයට හානි සිදූ වූ බවත් සඳහන් කළ කතානායකවරයා අවුරුදු 23ක් වූ හසළක තරුණයා රටේ ස්වෛරීත්වය වෙනුවෙන් සිදු කළ ජීවිත පූජාව සහ පරිත්‍යාගය අගය කරන බවද එහිදී පැවසීය.

 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ වැඩබලන ආරක්ෂක අමාත්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසුවේ කෝප්‍රල් හසළක ගාමිණී කුලරත්න ජාතික වීරයෙකු බවත් ඔහු ත්‍රිවිධ හමුදාවේ සංකේතයක් බවත්ය. පසුගිය පාස්කු ඉරිදා සිදු වූ සිදුවීම සිහි කළ අමාත්‍යවරයා මේ මොහොතේත් විවිධ බොරු ප්‍රචාර සිදු කරමින් ඇතැම් පිරිස් ජනතාව නොමඟ යවමින් සිටින බව ප්‍රකාශ කළේය. ආරක්ෂක සහ බුද්ධි අංශ මෙම සිදුවීම් පාලනය කරගෙන යන බවත් රටේ අස්ථාවර තත්ත්වයක් ඇති කිරීමට ඇතැමුන් සිදුකරන මෙවැනි ප්‍රකාශයන්ට හසු නොවන ලෙසත් අමාත්‍යවරයා ඉල්ලා සිටියේය.