නිත්‍ය සාමය උදෙසා ලංකාවේ කැපවීම ඉහළයි : ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා

 ඡායාරූපය:

නිත්‍ය සාමය උදෙසා ලංකාවේ කැපවීම ඉහළයි : ඇමෙරිකානු ජනාධිපති ට්‍රම්ප්ගෙන් ප්‍රශංසා

සිවිල් ගැටුමෙන් පසු නිත්‍ය සාමය උදා කරගැනීම සඳහා සංහිඳියාව, වගවීම සහ යුක්තිය ප්‍රවර්ධනය කිරීම කෙරෙහි ශ්‍රී ලංකාව දක්වන කැපවීම ඇමෙරිකානු එක්සත් ජනපද ජනාධිපති ඩොනඩ්ල් ට්‍රම්ප් මහතාගේ ඇගයීමට ලක් වී තිබේ.

ඇමෙරිකා එක්සත් ජනපදයේ නව ශ්‍රී ලංකා තානාපති ඊ.රොඩ්නි එම්. පෙරේරා මහතා 2019 ජූලි 08 වැනි දින ධවල මන්දිරයේ ඕවල් කාර්යාලයේදී සිය අක්තපත්‍ර ඇමරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ජේ. ට්‍රම්ප් මහතා වෙත ප්‍රදානය කළ අවස්ථාවේදී ජනාධිපතිවරයා මේ බව පවසා ඇත.

එහිදී ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ, රජයේ සහ ජනතාවගේ සුභාශිංසන ජනාධිපති ට්‍රම්ප් මහතා වෙත තානාපති රොඩ්නි එම්. පෙරේරා මහතා විසින් පිරිනමනු ලැබීය. විශ්වාසය මත පදනම් වූ සබඳතා ගොඩනඟා ගැනීමටත්, බහුවාර්ගික, බහුසංස්කෘතික, බහුභාෂික සහ බහුආගමික දේශයක තිරසර ප්‍රගතිය සඳහා අත්‍යවශ්‍ය ආයතන ශක්තිමත් කිරීමටත් ශ්‍රී ලංකා රජය අඛණ්ඩ කැපවීමකින් කටයුතු කරන බව හෙතෙම පැහැදිලි කළේය. වෙළෙඳ හා ආර්ථික සබඳතා ශක්තිමත් කිරීම, ජනතාව අතර සම්බන්ධතා පුළුල් කිරීම, ජාත්‍යන්තර හා අභ්‍යන්තර සාමය සහ ආරක්ෂාව ප්‍රවර්ධනය කිරීම ඇතුළුව එක්සත් ජනපදය සමඟ ශක්තිමත් බහුවිධ සම්බන්ධතාවක් පවත්වාගෙන යෑම ශ්‍රී ලංකා රජයටත් එහි ජනතාවටත් වැදගත් බව ඔහු තවදුරටත් පැවසීය.

පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරවලින් පසුව එක්සත් ජනපදය ශ්‍රී ලංකාව සමඟ එක්ව කටයුතු කරන බවත් ප්‍රතිත්‍රස්තවාදය, සමුද්‍රීය හා දේශසීමා ආරක්ෂාව තහවුරු කිරීම ආදියේදී ශ්‍රී ලංකාවට සහයෝගය දක්වන බවත් ඇමෙරිකානු ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය. ප්‍රජාතන්ත්‍රවාදය, මානව හිමිකම් සහ නීතියේ ආධිපත්‍යය සඳහා හවුල් කැපවීමක නිරත දෙරට අතර සබඳතා ශක්තිමත් ඇති කරගැනීම උදෙසා එක්ව කටයුතු කිරීමේ වැදගත්කමද එක්සත් ජනපද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

 

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා