මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට දායක වූවන්ට ජනපතිගෙන් ඇගයුම් සම්මාන

 ඡායාරූපය:

මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතියට දායක වූවන්ට ජනපතිගෙන් ඇගයුම් සම්මාන

රටේ සංවර්ධන කි‍්‍රයාවලිය උදෙසා අභියෝග මධ්‍යයේ අවංකව කැපවන රාජ්‍ය නිලධාරින් සහ වෘත්තිකයන් ජාතියේ ගෞරවයට ලක්විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ මොරගහකන්ද - කළු ගඟ සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට දායාද කිරිමට කැපවූවන් අගයමින් අද (08) පෙරවරුවේ මොරගහකන්ද ජලාශ පරිශ්‍රයේ පැවති ප‍්‍රශස්ත සේවා ඇගයුම් උලෙළ අමතමිනි.

 

මෙරට දැවැන්තම වාරි ව්‍යාපෘතියක් වූ මොරගහකන්ද - කළු ගඟ බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට දැනුමෙන්, ශ‍්‍රමයෙන් හා අප‍්‍රතිහත ධෛර්යෙන් නිසි දායකත්වය උපරිමයෙන් ලබා දුන් 400 දෙනෙකු අගයමින් සම්මාන පිළිගැන්වීම එහිදී සිදු කෙරිණි. ව්‍යාපෘතියේ ඉදිකිරීම් සිදුකරන සිනෝහයිඩ්‍රෝ චීන සමාගමේ ඉංජිනේරුවන් ඇතුළු ජ්‍යෙෂ්ඨ ඉංජිනේරුවන් මෙන්ම ව්‍යෘපෘති අධ්‍යක්ෂ ඩී.බී. විජේරත්න මහතා ඇතුළු නිලධාරීන් අගයමින් සම්මාන පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය.

 

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් කියා සිටියේ මෙරට ජාතික ආර්ථිකය ශක්තිමත් කිරීමට සහ ස්වාධීන සහ නිදහස් රටක් ලෙස ඉදිරියට යාමට මහවැලිය මඟින් ලැබුණු යෝධ ශක්තිය කිසිවෙකුට අමතක කළ නොහැකි බවයි. මෙරට නව වාරි ශිෂ්ටාචාරයක පසුබිම සැකසූ මහවැලි ව්‍යාපාරයේ අවසන් අදියර වූ මොරගහකන්ද කළු ගඟ ව්‍යාපෘතිය යථාර්ථයක් කිරීමේ සිහිනය සැබෑ කිරීමට ලැබීම පිළිබඳ එහිදී සතුට පළ කළ ජනාධිපතිවරයා මෙම ව්‍යාපෘතිය වෙනුවෙන් කැපවූ ප‍්‍රධාන ඉංජිනේරුවාගේ සිට අවසන් කම්කරුවා දක්වා සියලුදෙනාට තම ගෞරවය පිරිනමන බවද සඳහන් කළේය.

 

රජ රට ගොවි ජනතාවගේ දීර්ඝකාලීන සිහිනයක් සැබෑ කරමින් දශක හතරකට පසු මෙරට ඉදිවූ විශාලතම බහුකාර්ය සංවර්ධන ව්‍යාපෘතිය වන මොරගහකන්ද ජලාශ ව්‍යාපෘතිය මේ වන විට රටේ ජාතික ආර්ථිකයට සුවිශේෂී දායකත්වයක් ලබාදෙමින් තිබේ. පරාක‍්‍රම සමුද්‍රය මෙන් හය ගුණයක් විශාල එනම් අක්කර අඩි 660,000ක ධාරිතාවකින් යුත් ජලාශ 02කින් සමන්විත මොරගහකන්ද - කළු ගඟ බහුකාර්ය ව්‍යාපෘතිය යටතේ උතුරු මහ ඇළ, වයඹ ඇළ, මිණිපේ ඇළ, ව්‍යාපෘති ඇතුළු වාරි ව්‍යාපෘති රැසක් කි‍්‍රයාත්මක වන අතර වයඹ, උතුරු මැද, මධ්‍යම හා නැගෙනහිර පළාත්වල විශාල ගොවි ජනතාවකට එමඟින් ප‍්‍රතිලාභ හිමිවනවා මෙන්ම පානීය ජල අවශ්‍යතාද සම්පූර්ණ කෙරේ.

ආහාර ආනයනය සඳහා මෙරටින් වාර්ෂිකව වැය වන රුපියල් කෝටි දස දහසක මුදල මෙරට තුළ රඳවා ගනිමින් යල කන්නයේ වගා නොකළ හෙක්ටයාර් 95,000ක් සහ අලුතෙන් සංවර්ධනය කරන හෙක්ටයාර් 5000ක භූමිය තුළ එකී ආනයනික ද්‍රව්‍ය වන බඩ ඉරිඟු, කවුපි, මුං, තල, කුරක්කන්, මෙනේරි සහ සත්ත්ව නිෂ්පාදන වගාවට යොමු කරමින් ඉතිරි කර ගැනීම තුළ ව්‍යාපෘතිය සහ ඇළ ව්‍යපෘති සඳහා ආයෝජනය කළ මුදල වසර කිහිපයකින් පියවා ගැනීමටත් සමස්ත රටේ ආයෝජනයක් ලෙස යොදා ගැනීමට හැකිවීම විශේෂත්වයකි.

මොරගහකන්ද - කළු ගඟ ව්‍යාපෘතියෙන් මෙගාවොට් 25ක විදුලිබල ධාරිතාවක් ජාතික විදුලිබල පද්ධතියට එක් කෙරෙන අතර එමඟින් වාර්ෂික ආදායම් ඉලක්කය රුපියල් මිලියන 1545කි. පසුගිය වසරේ රුපියල් මිලියන 1100කට වැඩි ආදායමක් එමඟින් ලබා දී තිබේ.  මේ අතර මිරිදිය මත්ස්‍ය නිෂ්පාදනය ඉහළ නැංවීම, සංචාරක ව්‍යාපාරයේ ප‍්‍රවර්ධනය මෙන්ම ඝෘජු හා වක‍්‍ර රැකියා උත්පාදන අවස්ථා ඉහළ නැංවීමද මෙම ව්‍යාපෘතියේ සුවිශේෂී ප‍්‍රතිලාභ වෙයි.  රජරට ගොවි ජනතාවගේ කදුළු කතාව නිමා කරමින් මොරගහකන්ද - කළු ගඟ මහා ජලාශ ව්‍යාපෘතිය ජාතියට දායාද කිරීමට නායකත්වය ගත් ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා වෙනුවෙන්ද එහිදී විශේෂ උපහාර තිළිණයක් පිළිගැන්විණි.