බෞද්ධාගමට මුල් තැන දී සියලු ජාතීන් සමඟ සහයෝගයෙන් ජීවත් විය යුතුයි

 ඡායාරූපය:

බෞද්ධාගමට මුල් තැන දී සියලු ජාතීන් සමඟ සහයෝගයෙන් ජීවත් විය යුතුයි

 

බෞද්ධාගමට ප්‍රමුඛත්වය ලබාදෙමින් අනෙක් ජාතීන් සමඟ සහයෝගයෙන් ජීවත් විය යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසයි. අග්‍රාමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (06) වාද්දුව මොල්ගොඩ ශ්‍රී මහා විහාරයේ පැවති ශාස්ත්‍රපති පූජ්‍ය බෝපිටියේ ධම්මිස්සර නාහිමි වෙත මල්වතු පාර්ශවයේ කළුතර මහ දිසාවේ ප්‍රධාන සංඝනායක පදවිය පිරිනැමීම වෙනුවෙන් සංවිධානය කළ පිළිගැනීමේ උත්සවයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍යවරයා මෙසේද කීය.

 

 “උන්වහන්සේගේ දෙන උපදෙස් අනුව අද මේ ආණ්ඩුවේ විවිධ අමාත්‍යාංශ දැනට මේ අවුරුදු හතර, පහේදී රුපියල් මිලියන අටදාහකට වඩා මුදලක් වියදම් කරලා තියෙනවා. මට ඒ ගැන කණගාටුවක් නැහැ. බෞද්ධයෙක් හැටියට මම ආපු පරම්පරාව හැටියට මෙච්චර මුදල් ශාසනයට යොදන්න පුලුවන් වුණ එක ගැන මම විශේෂයෙන්ම සන්තෝෂ වෙනවා. අද ඇත්ත වශයෙන්ම නගරවල විහාරස්ථාන දියුණු කරන්න පුළුවන්. ඈත පළාත් කොහොමද දියුණු කරන්නේ සංඝයා වහන්සේ අඩු වෙනවා. විහාරස්ථාන දියුණුවත් එක්කම විවිධ වැඩසටහන් යටතේ ගම්මානත් දියුණු කරලා තියෙනවා. කිසිම ආණ්ඩුවකට වඩා අපි මේ වැඩකටයුතු කරගෙන ගියේ. අපේ ව්‍යවස්ථාවෙන් ප්‍රමුඛ ස්ථානය බුද්ධ ධර්මයට ලබා දීලා තියෙනවා. එක අතකින් බුදුන් වහන්සේගේ ධර්මය මුළු ලෝකයටම අයිතියි. අපිට තනියම අයිති නැහැ. අපිට අයිතිනම් මුළු ලෝකයටම දෙන්න ඕනේ. අනෙක් අතින් මේ තෙරුන් වහන්සේලාගේ ධර්මය ලංකාවේ මහා විහාරය ආරක්ෂා කරපු එක ගැන අපි ඒ වගේම ආඩම්බර වෙන්න තියෙනවා. අපිට ඒ තියෙන ඉතිහාසය අමතක කරන්න බැහැ. අපි මේ රටේ ඉන්න හැම ජනතාවත් එක්කම ජීවත් වෙන්න ඕනේ. ඒක දුටුගැමුණු, පණ්ඩුකාභය යන රජවරුන්ගේ කාලේ ඉඳලම අපි කරගෙන ආවා. අපි එතනට එකතුවෙලා වැඩ කරහම තමයි අපි ශ්‍රී ලාංකිකයෝ වෙන්නේ. ලෝකය අපි දිහා බලනවානම් ඕනෑම ජාතියක් එක්ක අපිට ජීවත් වෙන්න පුළුවන් වෙන්න ඕනේ. අපේ ධර්මය ආරක්‍ෂා කරලා අපේ ධර්මය දියුණු කරන ගමන් අනෙක් සියලු දෙනා එක්කම එකට ජීවත්වීම තමයි ශ්‍රී ලාංකිකයෝ කියන්නේ.