මඩකලපුවේදී පොලිස් රාජකාරීයට බාධා කළ සිද්ධියට අදාළ විමර්ශන ඇරඹේ

 ඡායාරූපය:

මඩකලපුවේදී පොලිස් රාජකාරීයට බාධා කළ සිද්ධියට අදාළ විමර්ශන ඇරඹේ

 

මඩකලපුව, පුදූර් ප්‍රදේශයේදී රථවාහන රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් දෙදෙනෙක් විසින් රියදුරු බලපත්‍රය නොමැතිව ගමන් කළ යතුරුපැදියක් පරීක්ෂා කර අත්අඩංගුවට ගෙන තිබේ.

 

අනතුරුව යතුරුපැදිය පොලිස් ස්ථානයට රැගෙන එන අතරතුර වෙනත් යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් නිලධාරීන්ට බාධා කරමින් මාර්ගය හරස් කර තිබේ. එම අවස්ථාවේදී ඔවුන් පැමිණි යතුරුපැදිය බිම වැටී ඇති අතර එම ස්ථානයට පැමිණි ගම්වාසීන් කිහිපදෙනෙකු විසින් එම නිලධාරීන් දෙදෙනාට පහර දී තිබේ. තවද නිලධාරීන් දෙදෙනෙකුගෙන් එක් අයෙකු සතුව තිබූ රිවෝල්වරයක් පැහැරගෙන ගොස් ඇත.

 

මෙහිදී තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා මඩකලපුව රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින අතර මෙම සිද්ධියට අදාළව සැකකරුවන් හඳුනාගෙන ඇත. මඩකලපුව කොට්ඨාස පොලිස් අධිකාරීවරයාගේ අධීක්ෂණ යටතේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මකය.