බැඳුම්කර කොමිසමට සාක්ෂි දුන් අයෙක්ට තර්ජනය කළ විත්තිකරුට අධි චෝදනා

 ඡායාරූපය:

බැඳුම්කර කොමිසමට සාක්ෂි දුන් අයෙක්ට තර්ජනය කළ විත්තිකරුට අධි චෝදනා

 

මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ එවකට මුදල් අමාත්‍ය රවී කරුණානායක මහතා සම්බන්ධයෙන් සාක්ෂියක් ලබාදුන් අනිකා විජේසූරිය නමැත්තියගේ සහෝදරයා වන ජයන්ත විජේසූරිය නමැත්තාට තර්ජනය කළේ යැයි කියන සිද්ධියේ විත්තිකරුවකු ලෙස නම් කර සිටින ශනිල් නෙත්තිකුමාර නමැත්තාට අද (04) කොළඹ මහාධිකරණය හමුවේ අධි චෝදනා පත්‍ර භාර දී තිබේ.

 

මෙම නඩුව අද (04) කොළඹ මහාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා ඉදිරියේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා විසින් ගොනුකර තිබූ අධි චෝදනා පත්‍ර විත්තිකරු වෙත බාරදීම සිදු කළේය.  ඉන් අනතුරුව විත්තිකරු රුපියල් 50,000ක මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා විත්තිකරුගේ විදේශ ගමන් තහනම් කළ අතර ඔහුගේ විදේශ ගමන් බලපත්‍රය අධිකරණයට බාර දිය යුතු බවට නියෝග කළේය.

 

එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥ ලක්මිණී ගිරිහාගම මෙනවිය අධිකරණයට දන්වා සිටියේ මහ බැංකු බැඳුම්කර කොමිසම හමුවේ සාක්ෂි දුන් සාක්ෂිකාරියකගේ සහෝදරයකුට තර්ජනය කිරීමට අදාලව මෙම නඩුව ගොනු කර ඇති බවත් මෙම සිද්ධියේ බරපතළභාවය සැලකිල්ලට ගෙන මෙලෙස මහාධිකරණය හමුවේ නඩු පැවරීමට නීතිපතිවරයා තීන්දු කළ බවත් සඳහන් කළේය. මෙම නඩුව නැවත අගෝස්තු මස 09 වැනිදා කැඳවන මෙන්ද මහාධිකරණය නියම කළේය.