සීනි සහිත පැණිබීම සඳහා යළිත් බදු පැනවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය

 ඡායාරූපය:

සීනි සහිත පැණිබීම සඳහා යළිත් බදු පැනවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය

 

සීනි රහිත පැණිබීම අලෙවිය ප්‍රවර්ධනය කරගැනීමේ අරමුණින් සීනි සහිත පැණිබීම සඳහා බදු පැනවීමට අමාත්‍ය මණ්ඩලයේ අවධානය යොමු වූ බව සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය රාජිත සේනාරත්න මහතා පවසයි.

 

සීනි සහිත පැණිබීම සඳහා පනවා තිබූ බදු දින 52ක් පුරා පැවැති දේශපාලන අර්බුදය සමයේදී ඉවත් කිරීමට එවකට අග්‍රාමාත්‍යවරයා ලෙස නම් කෙරුණු මහින්ද රාජපක්ෂ මහතා කටයුතු කර තිබුනි. සීනි සහිත පැණිබීම සදහා යළි බදු පැනවීමට සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබූ අතර ඊට අනුමැතිය ලබාදීම සඳහා මුදල් අමාත්‍යාංශය සති දෙකක කාලයක් ඉල්ලා තිබුනි. මේ පිළිබඳව අමාත්‍ය මණ්ඩලය ඊයේ (02) සාකච්ඡා කළ අතර එහිදී සෞඛ්‍ය අමාත්‍යවරයා පැවැසුවේ බදු ඉවත් කිරීම තුළින් සීනි රහිත පැණිබීම වෙළෙඳපොළෙන් ඉවත්වන බවයි. මේ පිළිබඳව මුදල් අමාත්‍යවරයාගේ අවධානය යොමු විය යුතු බවද බෝ නොවන රෝග පාලනය කිරීම සඳහා මෙම පියවර ගත් බවද සෞඛ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය. තවද සීනි ග්‍රෑම් 6ක් අඩංගු පළතුරු බීම සඳහා බදු පැනවීමෙන් තොරව කටයුතු කිරීමටත් අනෙකුත් සාමාන්‍ය පැණිබීම සඳහා බදු පැනවීමටත් එහිදී තීරණය කර ඇත. මේ පිළිබඳව අවසන් තීරණයක් ගැනීමේ සාකච්ඡාවක් ලබන සිකුරාදා පෙරවරුවේ මුදල් අමාත්‍යාංශයේදී පැවැත්වීමට නියමිතය.