ආර්ථික සංවර්ධනයට විදෙස් සහාය අවශ්‍ය වුණත් රටේ ස්වාධීනත්වයට අතදාන්න දෙන්න බෑ

 ඡායාරූපය:

ආර්ථික සංවර්ධනයට විදෙස් සහාය අවශ්‍ය වුණත් රටේ ස්වාධීනත්වයට අතදාන්න දෙන්න බෑ

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන

රටත් ජාතියත් විනාශ කරමින් තිබෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය ජාවාරම මැඩලීමට ඉකුත් සිව් වසර පුරා තමා ගෙන ගිය දැවැන්ත වැඩපිළිවෙළට අබපියල්ලක සහායක් ලබා නොදුන් පිරිස් අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට දැඩි නීති ක්‍රියාත්මක කිරීමට ගත් පියවර හමුවේ තමා වැරදිකරුවකු ලෙස රටට පෙන්වීමට උත්සාහ දරමින් සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ඊයේ (01) පෙරවරුවේ කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේ පැවති ජාතික මත්ද්‍රව්‍ය නිවාරණ බස්නාහිර පළාත් සමුළුව අමතමිනි.

මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වූ ලක්ෂ 03ක තරුණ ජීවිත බේරා ගැනීමට හෝ එම පවුල්වල සාමාජිකයන් දුකින් මුදා ගැනීමට බලයේ සිටියදී හෝ විපක්ෂයේ සිටියදී ඔවුන් ඉටු කළ කාර්ය කුමක්දැයි තමා එම සියලු දෙනාගෙන් ප්‍රශ්න කරන බවද ජනාධිපතිවරයා එහිදී කියා සිටියේය.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට මරණීය දණ්ඩනය ලබා දීමට ගත් තීරණය හමුවේ ඇතැම් ජාත්‍යන්තර සංවිධාන අද ශ්‍රී ලංකාවට තර්ජන එල්ල කරමින් සිටින අතර රටේ ආර්ථික සංවර්ධනයට ජාත්‍යන්තර සංවිධානවල සහාය අවශ්‍ය නමුත් රටේ ස්වාධීනත්වයට අත ගැසීමට හෝ එම ස්වාධීනත්වයට තර්ජනයක් එල්ල කිරීමට එම කිසිවකුට අයිතියක් නොමැති බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කළේය.

මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්යසාධන බළකාය, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය හා ශ්‍රී ලංකා පොලිසිය එක්ව පිළියෙල කළ මත්ද්‍රව්‍ය භාවිතයේ ව්‍යාප්තිය පිළිබඳ ජාතික සමීක්ෂණ වාර්තාවද එහිදී ජනාධිපතිවරයා වෙත පිළිගැන්විණි.