යල කන්නයේ සිට හාල් මිලට ගැලපෙන පරිදි වී මිළත් ඉහළට

 ඡායාරූපය:

යල කන්නයේ සිට හාල් මිලට ගැලපෙන පරිදි වී මිළත් ඉහළට

 

මෙවර යල කන්නයේ සිටම වී මිළ ඉහළ දැමීමට තමන් කළ යෝජනාවට අග‍්‍රාමාත්‍යවරයා සිය කැමැත්ත පල කළ බව අමාත්‍ය පී. හැරිසන් මහතා පැවසීය.  අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ මාතලේ ගොඩිගමුව වැව ප‍්‍රතිසංස්කරණ කටයුතු ඇරඹීමේ උත්සවයට එක්වෙමිනි.

 

පවතින හාල් මිලට සාපේක්ෂව වී මිලෙහි වැඩි වීමක් සිදු විය යුතු බව තමා පිළිගන්නා බවත් ඉදිරියේ සිට කන්නයෙන් කන්නයට වී මිළ ඉහළ දැමීමට තමන් අපේක්ෂා කරන බවත් අමාත්‍යවරයා එහිදී  ප්‍රකාශ කළේය. දැනට වී වගාව සඳහා ගොවීන් විසින් යොදවන රසායනික ද්‍රව්‍ය මෙන්ම උපකරණ කුලියද පදනම් කරගෙන සුත‍්‍රයක් අනුව හාල් මිලට ගැලපෙන පරිදි වී මිළ ඉහළ දැමීමක් සිදු කරන බව හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.  ඉදිරියේදී ගොවි සංවිධාන මට්ටමින් ගොයම් කැපීමේ යන්ත‍්‍ර සහ සී සෑමේ ට‍්‍රැක්ටර් රථ ලබාදීම සඳහා විදේශයන් සමඟ සාකච්ඡා අරඹා ඇති බවත් ඒවා සාර්ථක මට්ටමේ ඇති බවත් අමාත්‍යවරයා එහිදී පැවසීය.

 

දේශීය පරික්ෂණවලට භාජනය කර කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මඟින් නිෂ්පාදිත වී ප‍්‍රභේද හඳුන්වාදීමේදී වියළි කලාපයට සුදුසු, මාස දෙකහමාරකින් අස්වැන්න නෙලා ගත හැකි ප‍්‍රභේද සඳහා ගොවීන් යොමු කිරීමට කටයුතු සිදු කරන බවත් වී වේලීම සඳහා යන්ත‍්‍ර ගොවි සංවිධාන මට්ටමින් ලබා දෙන බවත් හෙතෙම ප‍්‍රකාශ කළේය. ප‍්‍රමිතියකින් යුක්ත ලොකු ලූණු කිලෝවක් සඳහා රුපියල් 80ක සහතික මිලක් ඉදිරියේදී හඳුන්වා දෙන බවත් ඒ සඳහා අවශ්‍ය කැබිනට් පත‍්‍රිකාව අමාත්‍ය මණ්ඩලය වෙත ඉදිරිපත් කරන බවත් අමාත්‍යවරයා ගොවීන් ඉදිරියේ කියා සිටියේය. ඉන් දේශීය ලොකු ලූණු ගොවියා ආරක්ෂා කර ගැනීම තම අපේක්ෂාව බවත් අමාත්‍යවරයා පැවසීය. ඒ අනුව ඉදිරියේදී සහතික මිලට අස්වැන්න මිලදී නොගන්නා වෙළදුන් හට නීත්‍යානුකූලව කටයුතු කරන බව හෙතෙම එහිදී අවධාරණය කළේය.

 

මාතලේ ගොඩිගමුව වැව ප‍්‍රතිසංස්කරණය සඳහා වාරිමාර්ග අමාත්‍යාංශය රුපියල් මිලියන 223ක මුදලක් දරන අතර ප‍්‍රතිසංස්කරණය කිරීමත් සමඟ වැවෙහි ධාරිතාවය අක්කර අඩි 200ක් වන අතර වැව යටතේ නව කුඹුරු අක්කර 100ක් ඉදිකිරීමට අපේක්ෂිතය. එහි ප‍්‍රතිසංස්කරණ කටයුතු අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පසුගියදා ඇරඹිණ.