මරණ දඬුවමට එජාපය විරුද්ධයි අගමැති කියයි

මරණ දඬුවමට එජාපය විරුද්ධයි අගමැති කියයි

පර පණ නැසීම එක්සත් ජාතික පක්‍ෂයේ ප්‍රතිපත්තිවලට විරුද්ධ බැවින් මරණ දඬුවම ක්‍රියාත්මක කිරීමේ යෝජනාවට සහාය දැක්වීමට තමන්ට හැකියාවක් නොමැති බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඊයේ (30) පැවසීය.

මොණරාගල දිස්ත්‍රික්කයේ මාරිඅරාව ජල යෝජනා ක්‍රමය විවෘත කිරීමෙන් අනතුරුව මාරිඅරාව සතිපොළේ පැවැති ජනහමුව අමතමින් අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසීය. පසුගිය ජනාධිපතිවරණ ජයග්‍රහණයට උරදුන් විශාලතම පක්ෂය හා ආණ්ඩුවේ ප්‍රධානතම පක්‍ෂය වන එක්සත් ජාතික පක්‍ෂයත්, මහින්ද රාජපක්‍ෂ මහතා ප්‍රමුඛ විපක්‍ෂයත්, ජනතා විමුක්ති පෙරමුණ හා ද්‍රවිඩ එක්සත් සන්ධානයත් මරණ දඬුවම යළි ක්‍රියාත්මක කරලීමට එකඟ නැති බවද අග්‍රාමාත්‍යවරයා එහිදී පෙන්වා දුන්නේය. එහෙයින් මෙම ගැටලු පිළිබඳව මුලින්ම අමාත්‍ය මණ්ඩලය සමගත්, අනතුරුව ජනාධිපතිවරයා සහ කථානයකවරයා සමඟ සාකච්ඡා කිරීමට තමා බලාපොරොත්තු වන බවද අගමැතිවරයා කියා සිටියේය.

2016 වසරේ එක්සත් ජාතීන් ඉදිරිපත් කළ මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම වැළැක්වීමේ යෝජනාවට ශ්‍රී ලංකාව සහාය ලබාදුන් බවත් ඒ අවස්ථාවේදී මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති වශයෙන්ද, තමා අගමැති වශයෙන්ද තනතුරු දැරූ බව වික්‍රමසිංහ මහතා කියා සිටියේය. 2018 වසරේ දෙසැම්බර් 17 වැනිදා එක්සත් ජාතීන් එම යෝජනාව යළි සමාලෝචනයට භාජනය කළ අවස්ථාවේද ශ්‍රී ලංකාව ඊට සහාය දුන් බවත් එවිට මෛත්‍රීපාල සිරිසේන මහතා ජනාධිපති තනතුර ද, මහින්ද රාජපක්‍ෂ මහතා අගමැති තනතුරද දැරූ බව අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මරණ දඬුවම ක්‍රියාත්මක කිරීම අත්හිටුවීමට ජේ. ආර්. ජයවර්ධන ජනාධිපතිවරයා මුලින්ම තීරණය කළ බවත් ඉන්පසු ආර්. ප්‍රේමදාස, ඩී. බී. විජේතුංග, චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග සහ මහින්ද රාජපක්‍ෂ ජනාධිපතිවරුන් ඒ තීරණය ඉදිරියට ගෙන ගිය බවත් වැඩිදුරටත් අදහස් දක්වමින් අග්‍රාමාත්‍යවරයා පැවසීය.

[දිනුක මලින්ද හේරත්]