ජනපති සහ සිංගප්පූරු අගමැති අතර හමුවක්

 ඡායාරූපය:

ජනපති සහ සිංගප්පූරු අගමැති අතර හමුවක්

සිංගප්පුරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු අග‍්‍රාමාත්‍ය  ලී සියැන් ලුන්ග් මහතා අතර හමුව අද (25) දහවල් සිදු විය.

දෙරට අතර පවතින වෙළෙද, සංචාරක සහ කර්මාන්ත ක්ෂේත‍්‍රයේ සබදතා තවදුරටත් ඉහළ නංවා ගැනීම පිළිබදව මෙහිදී නායකයන්ගේ විශේෂ සාකච්ඡාවට ලක් විය. ශ‍්‍රී ලංකාව සහ සිංගප්පූරුව අතර අත්සන් තබා ඇති නිදහස් වෙළෙද ගිවිසුම පිළිබදවද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා කියා සිටියේ එය සකස් කිරීමේදී ශ‍්‍රි ලංකා පාර්ශ්වයෙන් අඩු පාඩු කිහිපයක් සිදුව තිබෙන බවත්, ඒ සදහා අවශ්‍ය සංශෝධන කිහිපයක් සිදු කිරීමට අපේක්ෂා කරන බවත්ය. ඉදිරියේදී ඒ පිළිබදව කටයුතු කිරීමේ වැදගත්කමද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

එමෙන්ම කලාපයට පමණක් නොව ලෝකයටම තර්ජනයක් වී ඇති මත්ද්‍රව්‍ය අභියෝගය ජය ගැනීම සදහා එක්ව කටයුතු කිරීම පිළිබදවද මෙහිදී නායකයන්ගේ අවධානය යොමු වූ අතර මත් උවදුර මැඩලීම සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ නායකත්වයෙන් ශ‍්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළට උපරිම සහය ලබාදෙන බව සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා සදහන් කළේය. ශ‍්‍රී ලාංකිකයන් විශාල පිරිසක් සිංගප්පූරුවේ විවිධ ක්ෂේත‍්‍රවල රැකියාවල නියුතුව සිටින අතර ඔවුන්ගේ සහ එරට උසස් අධ්‍යාපනය ලබන ශ‍්‍රී ලාංකික සිසුන්ගේ සුබසාධනය වෙනුවෙන් සිංගප්පූරු රජය දක්වන සහය පිළිබදවද ජනාධිපතිවරයා මෙහිදී සිංගප්පූරු අග‍්‍රාමාත්‍යවරයා වෙත සිය ස්තූතිය පළ කළේය.

මේ අතර ඇස්ටෝනියාවේ පරිසර අමාත්‍යවරයා මෙන්ම එක්සත් ජාතින්ගේ පරිසර කමිටුවේ සිව්වන සැසිවාරයේ සභාපතිවරයාද  අද ජනාධිපතිවරයා හමුවී සාකච්ඡා පැවැත්වීය. පරිසරය ආරක්ෂා කර ගනිමින් තිරසර සංවර්ධන ඉලක්ක ජය ගැනීම සදහා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතාගේ මගපෙන්වීමෙන් ශ‍්‍රී ලංකා රජය ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී අමාත්‍යවරයාගේ පැසසුමට ලක් විය. පරිසර සංරක්ෂණය වෙනුවෙන් ලෝකයටම ආදර්ශයක් සපයමින් වැදගත් පියවර රැසක් තබා ඇති ශ‍්‍රී ලංකා ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා, පරිසර අභියෝග ජය ගැනීම පිළිබදව අද දින පැවති සමුළුවේදී ඉදිරිපත් කළ යෝජනා පිළිබදවද සිය ස්තූතිය පළ කළ අමාත්‍යවරයා  ඒවා අන්තර්ජාතික වශයෙන් ඉතා වැදගත් යෝජනා වනු ඇති බව සදහන් කළේය.

මේ අතර ලබන මාර්තු මාසයේදී නයිරෝබිහි පැවැත්වෙන එක්සත් ජාතින්ගේ පරිසර සැසියේ විශේෂ ආරාධිත අමුත්තෙකු ලෙස සහභාගී වන ලෙසද ජනාධිපතිවරයා වෙත ඇරයුම් කළේය.  කාලගුණික දේශගුණික විපර්යාස හේතුවෙන් මතුවන අභියෝග ජය ගැනීමේ දී මෙන්ම පරිසර සංරක්ෂණ වැඩපිළිවෙළේදී  එක්සත් ජාතින්ගේ සංවිධානය ශ‍්‍රී ලංකාවට  ලබා දෙන  සහය මෙහිදී අගය කළ ජනාධිපතිවරයා පොලිතින් තහනම වැනි දැඩි නීති රීති කි‍්‍රයාවට නංවමින් පරිසරය සුරැකීම වෙනුවෙන් ශී‍්‍ර ලංකා රජය ගෙන යන පුළුල් වැඩපිළිවෙළ පිළිබදවත්, පරිසරය ආරක්ෂා කිරීම වෙනුවෙන් ති‍්‍රවිධ හමුදාවේ සහය ලබා ගනිමින් කි‍්‍රයාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබදවත් අමාත්‍යවරයා දැනුවත් කළේය. ඇස්ටෝනියාව සහ ශ‍්‍රී ලංකාව අතර මේ වන විටත් පවතින ද්විපාර්ශ්වික සබදතා නව ක්ෂේත‍්‍ර ඔස්සේ වර්ධනය කර ගැනීම පිළිබදවද මෙහිදී අවධානය යොමු විය.