කුලී නිවැසියන්ට ස්ථිර නිවාස - අමාත්‍ය පාඨලී චම්පික

 ඡායාරූපය:

කුලී නිවැසියන්ට ස්ථිර නිවාස - අමාත්‍ය පාඨලී චම්පික

කුලී නිවාසවල ජීවත් වන පුද්ගලයන්ට ස්ථිර නිවාස ලබා දෙන බව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ බදුල්ල සේනානායක උද්‍යානය ප‍්‍රතිසංස්කරණය කර ජනතා අයිතියට පැවරීමේ උත්සව අවස්ථාවට සහභාගී වෙමින් මාධ්‍යවේදීන් විසින් කුලී නිවැසියන්ට ස්ථීර නිවාස ලබාදීමේ වැඩපිළිවෙලක් තිබෙනවාදැයි විමසූ අවස්ථාවේදී ය.

 

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, ‘කොළඹ දිස්ත‍්‍රික්කයේ ඉන්නවා පවුල් ලක්‍ෂ තුනක්. කොළඹ නගරයේ ඉන්නවා මේ වගේ අයහපත් නිවාස තිබෙන 50,000ක්, ඒ හැමෝටම අපි 2024 වෙන කොට නිවාස දෙනවා. එනමුත් අර කිව්වා වගේ කුලියට ඉන්නවා පවුල් ලක්‍ෂ තුනක්. මම හැමදාම අපේ මැතිවරණ කොමසාරිස්තුමාගෙන් අහනවා ඡන්ද දායක ප‍්‍රමාණය ගම්පහට වඩා අඩු ඇයි කියලා. සෙනඟ වැඩියි. ඡන්ද අඩුයි. හේතුව පවුල් ලක්‍ෂ 3ක් ඉන්නේ කුලියට. ඒ අයගේ ඡන්ද තියෙන්නේ පිට. ඉතින් මේ කුලී නිවැසියන්ගේ ප‍්‍රශ්නය විසඳන්න ඕනේ. ඒකටත් අපට නිවාස කි‍්‍රයාවලියක් අවශ්‍යයි. අග‍්‍රාමාත්‍යතුමාට මේ පිළිබඳ කරුණු දක්වලා එතුමා විදේශ රටවල් සමග කතා කරලා මම හිතන්නේ එතුමාට සහන ණයක් ලැබෙන්න නියමිතයි. එයින් පසුව අපි අත්‍යාවශ්‍ය කුලී නිවැසියන්ට නිවාස ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා.

වැඩිමනක් වශයෙන් අපි නිවාස සංකීර්ණ කිහිපයක් යම්කිසි කුලී මුදලක් ගෙවන්න පුළුවන් අයට ලබාදෙන්න බලාපොරොත්තු වෙනවා. දැනටමත් අයි ඩී එච් හි නිවාස 500 ක නිවාස සංකීර්ණයක් විවෘත කළා එවැනි කුලී නිවැසියන් සඳහා ඒ වගේම මධ්‍යම පාන්තිකයන් සඳහා බොරැල්ල එළියට් පෙදෙසේ, ඕවල් පෙදෙසේ, පන්නිපිටිය වීර මාවතේ, කොට්ටාවේ අපි නිවාස සංකීර්ණ ඉදිකරගෙන යනවා. දැනට නිවාස 2,000 ක් පමණ. ඉදිරි කාලයේදී පිළියන්දල, හෝමාගම, අවිස්සාවේල්, හොරණ වැනි ප‍්‍රදේශවල තවත් නිවාස 3,000 ක් ඉදිකිරීමට බලාපොරොත්තු වෙනවා. ඒ වගේම කොළඹ නගරයෙන් පිට රත්මලාන, කෝට්ටේ, කොලොන්නාව අන්තිම දුෂ්කර ජීවිත ගෙවන අයට අපි වෙනම නිවාස සංකීර්ණ මේ වසරේ අපේ‍්‍රල් මාසයේ ආරම්භ කරනවා පෑලියගොඩත්, ඔබේසේකර පුරයෙත්, රත්මලාන ෆැක්ටරි වත්තේ. අපේ බලාපොරොත්තුව මේ ජනතාව එතනින් උඩට ගන්න. විශේෂයෙන්ම අපේ දරුවන්ට ගෙයක් දුන්නට මදි. ජීවිතය ගොඩනගා ගන්න උදව් කළ යුතුයි. ඒ නිසා තමයි අපි නිවසක් සමග ජීවිතයක් කියන අදහස ගෙනවිත් තිබෙන්නේ. අද අපි අධ්‍යාපනය, සෞඛ්‍ය පහසුකම්, මවුවරුන්ට අවශ්‍ය පහසුකම්, ක‍්‍රීඩා වගේම සංස්කෘතික පහසුකම් ලබාදෙනවා. පසුගිය දවස්වල බණ්ඩාරනායක සම්මන්ත‍්‍රණ ශාලාවේ සහ බිෂොප් විද්‍යාලයේ පවත්වපු අපේ දරුවන්ගේ සංස්කෘතික උළෙල දැක්ක නම් මේවා මේ කොළඹ ඉතාමත් අයහපත් තත්වයන් යටතේ ජීවත්වන දරුවොද කියලා හිතෙනවා. හැමෝම පුදුම උනා මේ බිෂොප් විද්‍යාලයේ රඟ දැක්වීමක්ද, මියුසියස්, විශාඛා විද්‍යාලයේ රඟ දැක්වීමක් ද කියලා. ඒ තරම් ඉහළ මට්ටමකට ඒ දරුවෝ ඇවිල්ලා තිබෙනවා. ඒ වගේම අපේ ඒ දැරිවියක් පළමුවෙනි වතාවට වෛද්‍ය පීඨයට තේරුණා. ඒක අපට ලොකු ශක්තියක්. ඒ වගේම අපේ දැරිවියක් සමස්ථ ලංකාවෙන් ගිහින් ආසියානු කුසලානය දිනා ගන්න රිලේ කණ්ඩායමට තේරුණා. ඒ හැමෝම අපි බලාගත්තා. ඒක තමයි අපේ කි‍්‍රයාදාමය. ඉදිරියේ අපි බලාපොරොත්තු වෙනවා තව මේ වගේ දහස් ගණනක් බිහි වෙයි කියලා යැයි පැවසීය.