ණය සහනදායක මණ්ඩලය ජනතාවට සමීප ආයතනයක් බවට පත් කරන බව අධිකරණ ඇමතිනිය කියයි

 ඡායාරූපය:

ණය සහනදායක මණ්ඩලය ජනතාවට සමීප ආයතනයක් බවට පත් කරන බව අධිකරණ ඇමතිනිය කියයි

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය විසින් ඊයේ (23) පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළ සහනදායක ආඥා පනත (සංශෝධනය) කිරීමේ පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවේදී සංශෝධන සහිතව සම්මත විය.

අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයට යටතේ පවතින මෙම දෙපාර්තමේන්තුව වර්ෂ 1941 අංක 39 දරණ ණය සහනදායක ආඥා පනත මගින් ස්ථාපිත කර තිබේ. නව පනත් කෙටුම්පත මගින් ණය සහනදායක මණ්ඩලයෙන් සිදුවන සේවාවත් තවදුරටත් ව්‍යාප්ත කරමින් මහ ජනතාවට ලබා දෙන සේවය පුළුල් කිරීම අරමුණ වන අතර, ඒ අනුව ණය සහන දායක මණ්ඩලයේ සාමාජිකයින්ගේ සංඛ්‍යාව 5 සිට 11 දක්වා වැඩි කිරීමට පනත් කෙටුම්පත මගින් යෝජනා කර ඇත. 1941 අංක 39 දරණ ණය සහනදායක ආඥා පනතට සංශෝධන පනත් කෙටුම්පත සදහා අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමිය 2018.08.08 වන දින අමාත්‍ය මණ්ඩලය සදහා ඉදිරිපත් කර ඒ සදහා කැබ්නට් මණ්ඩලයේ අනුමැතිය ලබා ගෙන තිබේ. නව පනත් කෙටුම්පතට අනුව එහි සාමාජිකයන් අතරින් හත් දෙනෙකු මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස හෝ, දිසා අධිකරණ විනිසුරුවරයෙකු ලෙස විනිශ්චයකාර ධුරයක් දරනු ලබන හෝ, දරා ඇති තැනැත්තන් හෝ නීතිඥවරයෙකු ලෙස අවුරුදු පහළොවකට නොඅඩු වෘත්තීය පළ පුරුද්දක් සහිත තැනැත්තන්ගෙන් සමන්විත විය යුතු බවත් ,සාමාජිකයින් හතර දෙදෙනෙකු නීතිඥවරයෙකු ලෙස අවුරුදු දහයකට නොඅඩු වෘත්තීය පළ පුරුද්දක් සහිත හෝ ශ්‍රී ලංකා පරිපාලන සේවයේ දීප ව්‍යාප්ත සේවයේ පළමු ශ්‍රේණියේ ධූරයක තනතුරක් ලබන හෝ දරා ඇති තැනැත්තන්ගෙන් සමන්විත විය යුතු බව සදහන් වේ.

උකසට තබා හෝ පොරොන්දු සින්නක්කරයක් මත ගන්නා ලද ණය මුදලක් ආපසු ගෙවීම සම්බන්ධයෙන් ඇති වන ගැටළුවකදී අවශ්‍ය කරන නෛතික මෙහෙවර ඉටු කර දීම සම්බන්ධයෙන් කටයුතු කිරීම ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුවේ කාර්යය වෙයි. හදිසි මුදල් අවශ්‍යතාවයකදී තම දේපළ උකස් හෝ පොරොන්දු සින්නක්කර ඔප්පුවක් මත ඇපයට බැද  කවර පොලී අනුපාතයක් යටතේ වුවද කුමන කොන්දේසියක් මත හෝ මුදල් ලබා ගත් නමුත් නියමිත කාල සීමාවට පෙර මුදල් ගෙවා ඔප්පුව ආපසු පවරා ගැනීමට නොහැකිවීමෙන් ඉතා වටිනා දේපළ ඉඩ කඩම් ඉතා සුළු මුදලකට සින්න වු අවස්ථා බොහෝ විට දැක ගත හැකිය .මෙම ප්‍රශ්නයට පිළියමක් ලෙස සහනයක් සැලසීම සදහා මෙම දෙපාර්තමේන්තුව ස්ථාපිත කර ඇත. මේ වන විට කොළඹ දිස්ත්‍රික්කය තුළ  පමණක් මෙම දෙපාර්තමේන්තුව පිහිටා තිබුණ ද මේ තුළින් සේවාවන් ලබා ගැනීම සදහා සෑම දිස්ත්‍රික්කයකින්ම ජනතාව පැමිණෙන බව ණය සහන දායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව පවසයි. මේ හේතුවෙන් මෙම  දෙපාර්තමේන්තුව මගින් මහ ජනතාවට සිදුවන සේවය තවදුරටත් පුළුල් කිරීමේ අරමුණින් නව ශාඛා මණ්ඩල මුල් අදියර යටතේ පහක් පිහිටුවීමට මේ වන විට  යෝජනා කර ඇති අතර, ඒ අනුව ගම්පහ ,කළුතර, මාතර ,රත්නපුර සහ කුරුණෑගල යන දිස්ත්‍රික්ක සදහා ණය සහනදායක මණ්ඩලයේ නව මණ්ඩල පිහිටුවීමට මේ වන විටත් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශය කටයුතු යොදා තිබේ. මේ වන විට ණය සහන දායක මණ්ඩලය සදහා දෛනිකව ඉල්ලුම්පත් 30 ත් 40 ත් අතර සංඛ්‍යාවක් ලැබෙන අතර දිනකට ඉල්ලුම්පත් 20 ත් 30 ත් අතර සංඛ්‍යාවක් විමසීමට ගනු ලබයි. 2018 වසර අවසානය වන විට  ණය සහනදායක මණ්ඩලීය දෙපාර්තමේන්තුව තුළ නඩු 785ක් විභාග වෙමින් තිබේ. පොරොන්දු සින්නක්කර සහ උකස්කර සම්බන්ධයෙන් සිදු කරන ඉල්ලීම් පිළිබදව මුලික විමසීමකින් අනතුරුව ගැටළුව නිරවුල් කිරීම සදහා අවසන් විමසීමක් සදහා ණය ගැතියා සහ ණය හිමියා යන දෙපාර්ශ්වයම කැදවීමෙන් පසුව රජයේ ගැසට් පත්‍රය හරහා තොරතුරු ප්‍රචාරය කිරීමට ණය සහන මණ්ඩලයට හැකියාව පවතින අතර, එකී ගනුදෙනුව ණය ගනුදෙනුවක් බවට නිශ්චය කරන්නේ නම් ගැටළුව විමසීමෙන් පසුව දෙපාර්ශ්වයටම සමථයකට එළඹීම සදහා මණ්ඩලය මගින් අවස්ථා ලබාදී ඇත. එහෙත් සාධාරණ සමථයකට එළඹීම ණය හිමියා ප්‍රතික්ෂේප කරයි නම්, ණය ගැතියාට වාසියක් වන පරිදි අධිකරණය ඉදිරියට පැමිණීම සදහා ණය ගැතියා වෙත සහතිකයක් නිකුත් කිරීමට ණය සහනදායක මණ්ඩලයට හැකියාව තිබේ.

ණය සහනදායක මණ්ඩලයේ කටයුතු සමාදානයට නැඹුරු වන අතර එය අර්ධ අධිකරණ ස්වභාවයක් ගන්නා බව එම මණ්ඩලය සදහන් කරයි. ණය සහනදායක මණ්ඩලයේ කාර්යයන්වලට සමාදානමය ස්වරූපය ප්‍රත්‍යක්ෂ වශයෙන්ම දක්නට ඇති අතර විත්තිකාර ණය හිමියා සාධාරණ සමථයකට එළඹීමට අපේක්ෂා කරන විටක සතුටුදායක සමථයකට පැමිණිමට අවස්ථාව තිබේ. මේ වන විට එම මණ්ඩලය සදහා ලැබෙන අයදුම්පත් අතරින් කොළඔ සහ ගම්පහ දිස්ත්‍රික්කවලින් වැඩි අයදුම් පත් සංඛ්‍යාවක් ලැබෙන බව එම මණ්ඩලය සදහන් කරයි. ණය සහනදායක මණ්ඩලය විසින් මුද්දර ගාස්තු වශයෙන් කිසිදු අය කිරීමක් නොකරන අතර ගැසට් පත්‍රයේ පළ කිරීම සහ ණය පිටපත් නිකුත් කිරීමේදී සුළු මුදලක් අය කරනු ලබයි. පාර්ශ්වකරුවන්ගේ පෙනී සිටීම හා සම්බන්ධව මණ්ඩලය හමුවේ පැවැත්වෙන විමසීම්වලදී යම් පාර්ශ්වයකට පෞද්ගලිකවම හෝ නීතිඥවරයෙකු හෝ ලියවිල්ලකින් බලය පවරන නීතිඥවරයෙකු මගින් පෙනී සිටිය හැක. මේ සම්බන්ධයෙන් ඊයේ පාර්ලිමේන්තුවේදී පැවති විවාදයට එක්වෙමින් අදහස් දක්වමින් අධිකරණ හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යතුමිය මෙසේ ද සදහන් කළාය . 

"මේ පනත මගින් ණය සහනදායක මණ්ඩලයේ සාමාජික ප්‍රමාණය වැඩි කිරීමටත් ඒ සදහා ප්‍රාදේශීය මට්ටමින් පිහිටුවීමට අවශ්‍ය කරනු ලබන සංශෝධන ඇතුළත් වෙනවා. ඒ අනුව  මහාධිකරණ විනිසුරුවරයෙකු ලෙස හෝ, දිසා අධිකරණ විනිසුරුවරයෙකු ලෙස විනිශ්චයකාර ධුරයක් දරනු ලබන හෝ, නීතිඥවරයෙකු ලෙස අවුරුදු පහළොවකට නොඅඩු වෘත්තීය පළ පුරුද්දක් ඇති අයෙකු සභාපති ලෙස පත් කිරීමටත් මේ මේ පනත මගින් යෝජනා කර තිබෙනවා.අනෙක් පත් කරන සාමාජිකයිනුත් ඒ හා සමාන සුදුසුකම් තියෙන අය බවට පත් කිරීමට කටයුතු කර තිබෙනවා. ණය ගෙවා ගැනීමට නොහැකිව ජනතාව විශාල වශයෙන් පීඩා විඳිනවා .ඒ අයට සහන සැළසීමට හැකිවන පරිදි ණය සහනදායක මණ්ඩල සංයුතිය වෙනස් කිරිමට කටයුතු කරනවා. ඒ පමණක් නොවෙයි මේ සමග මණ්ඩලයේ කටයුතු වඩාත් කාර්යක්ෂම වෙනවා වගේම ව්‍යාප්ත කිරීමට අවස්ථාව උදා වෙනවා. මේ මණ්ඩලයෙන් සිදු කෙරෙන්නේ නිශ්චිත දේපළක් ඉඩමක් සම්බන්ධයෙන් යම්කිසි උකස්කරයක් හෝ එහෙම නැත්නම් ණයට අර ගෙන ගෙවා ගැනීමට බැරිව සිටින අයට සහන සැලසීම මේ පනත ඉදිරිපත් කිරීමේ ප්‍රධාන අරමුණ වෙනවා. එහි තිබෙන නඩු ප්‍රමාණය දිහා බැලුවහම නඩු 900 ගානක් විතර විසදීමට තියෙනවා.ඉන් 400 ගානක්ම කොළඹ .ඉතිරි 400 ගානම පිට පළාත්වලින් ආව ඒවා.කොළඹට පමනක් සීමා වුනු ණය සහන දායක මණ්ඩලය ප්‍රාදේශීය මට්ටමින් ව්‍යාප්ත කිරීම මේ තුළින් හැකියාව ලැබෙනවා .1941 දී රාජ්‍ය මන්ත්‍රණ සභාවේ දී මේ පනත සම්මත කළ ප්‍රථම අග්‍රාමාත්‍ය ඩී.එස්.සේනානායක මහතාගේ සමයේ සම්මත කළ පනත මගින් ජනතාවගේ ඉඩම් ඔප්පු උගසට තබා ලබා ගන්නා ණයවලදී සහන සැලසීමට මේ මගින් හැකි වුණා.1950 ගණන්වල 1980 දී මේ පනතට සංශෝධන ඉදිරිපත් වුණා.මේ පනතට අධිකරණමය බලයක් තිබෙනවා.ණය බරින් මිරිකෙන ජනතාවට සහන සැලසීම මෙයින් සිදු වෙනවා. මේ පිළිබදව ජනතාව තුළ දැනුවත්වීම ඉතා අඩුයි.දැනට ඉදිරිපත් වෙලා තිබෙන නඩු සංඛ්‍යාවෙන් අඩක්ම කොළඹ දිස්ත්‍රික්කයෙන් ඉදිරිපත් වෙලා තියෙන්නේ.මේ පනත සංශෝධනය කරනවා .ඒ සමග සාමාජිකයන්ගේ සංඛ්‍යාව 5 සිට 11 දක්වා මේ මඟින් වැඩි කිරිමට නියමිතයි.මෙහි සභාපති වන්නේ මහාධිකරණ දිසා අධිකරණ විනිසුරුවරුන්. එසේ පත් කරන්නේ එයට නීතිමය දැනුමක් තිබිය යුතු නිසයි.වගකිව යුතු රජයක් ලෙස අපි කියන දේ කරනවා .මේ සම්බන්ධයෙන් ජනතාවට දැනුවත්වීම ඉතා අඩුයි .ඒ බව පිළි ගන්නවා .එයට හේතුව තමයි කොළඹ විතරක් මුලික කර ගනිමින් මෙම මණ්ඩලය ක්‍රියාත්මක වීම .මේ නව පනත් කෙටුම්පතත් සමඟ විශාල සහනයක් අහිංසක ජනතාවට ලැබෙනවා.වැඩි පොළියට ජනතාව ණයක් ගන්නේ තමන්ට කර කියා ගන්න දෙයක් නැති නිසා .ඒ නිසා ඒ ජනතාවට අපි පිහිට විය යුතුයි .මේ මණ්ඩලයේ ශාඛා වැඩි කරලා දීප ව්‍යාප්ත කළාම ඒ ජනතාවට වඩාත් සහනදායී සේවයක් ලබා ගත හැකියි"