මත්ද්‍රව්‍ය නිවාරණයට අවශ්‍ය තාක්ෂණික දැනුම ලංකාවට දෙන්න සිංගප්පූරු රජයේ එකඟතාවය

 ඡායාරූපය:

මත්ද්‍රව්‍ය නිවාරණයට අවශ්‍ය තාක්ෂණික දැනුම ලංකාවට දෙන්න සිංගප්පූරු රජයේ එකඟතාවය

මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් සිංගප්පූරු රජය යොදාගන්නා ශිල්පීය සහ තාක්ෂණික දැනුම ශ‍්‍රී ලංකාවේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට හඳුන්වා දීමට එරට බලධාරීන් ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතා වෙත සිය එකඟතාවය පළ කර තිබේ.

සිංගප්පූරුවේ දෙදින නිල සංචාරයක නිරත ජනාධිපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා සහ සිංගප්පූරු රජයේ සමාජ හා පවුල් සංවර්ධන අමාත්‍ය සහ ජාතික සංවර්ධන නියෝජ්‍ය අමාත්‍ය ඩෙස්මන්ඩ් ලී මහතා ඇතුළු එරට මත්ද්‍රව්‍ය නිවාරණයට අදාළ අංශවල නිලධාරීන් අතර හමුවක් අද (24) පෙරවරුවේ මැන්ඩරීන් ඔරියන්ටල් හෝටලයේදී පැවත්වුණු අතර, ශ‍්‍රී ලංකාවේ මත් උවදුර මර්දනයට සහය ලබාදෙන ලෙස ජනාධිපතිවරයා එහිදී කළ ඉල්ලීමට ප‍්‍රතිචාර දක්වමින් මෙම එකඟතාවය පළ කෙරිණි. ඒ අනුව මත්ද්‍රව්‍ය නිවාරණය සහ පාලනය වෙනුවෙන් ශ‍්‍රී ලංකාව ගෙන යන වැඩපිළිවෙළ උදෙසා සිංගප්පූරුවේ සහය ලබාදීම පිළිබඳ සොයා බැලීමට සිංගප්පූරු රජයද නියෝජනය කරමින් විශේෂ නියෝජිත පිරිසක් නුදුරේම ශ‍්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. සිංගප්පූරු රජය මත්ද්‍රව්‍ය වැටලීම්වලට අදාළව අනුගමනය කරන්නා වූ කි‍්‍රයාදාමයන් පිළිබඳවත්, නීතිවිරෝධි මත්ද්‍රව්‍ය මර්ධනය වෙනුවෙන් එරට රජය දියත්කරන ජාතික වැඩසටහන් පිළිබඳවත් ජනාධිපතිවරයා වෙත මෙහිදී නිලධාරින් කරුණු ඉදිරිපත් කළහ. මත්ද්‍රව්‍ය නිවාරණය වෙනුවෙන් එරට අමාත්‍යාංශ කිහිපයක් ජාතික මට්ටමින් ක‍්‍රියාවට නංවා ඇති වැඩසටහන්වල වත්මන් ප‍්‍රගතිය පිළිබඳවද ජනාධිපතිවරයා දැනුවත් කෙරිණි. ශ‍්‍රී ලංකාවට මහත් ව්‍යසනයක්ව ඇති මත් උවදුර පාලනය සහ මර්දනය වෙනුවෙන් ශ‍්‍රී ලංකාවද ජාතික මට්ටමින් කි‍්‍රයාවට නංවා ඇති වැඩපිළිවෙළ පිළිබඳව ජනාධිපතිවරයා එහිදී අදහස් දැක්වීය. එමෙන්ම මත්ද්‍රව්‍ය මර්ධනය වෙනුවෙන් කැපවීමෙන් කටයුතු කරන පොලිස් නිලධාරීන් අගයමින් ඔවුන් වෙත ජනාධිපති සම්මාන පිරිනැමීමට තමා ඉදිරි සතියේදී පියවර ගන්නා බව ජනාධිපතිවරයා සඳහන් කළේය.