බාලදක්ෂ ව්‍යාපාරයෙන් සිදුකරන සේවය විශිෂ්ටයි - අමාත්‍ය අකිල විරාජ්

 ඡායාරූපය:

බාලදක්ෂ ව්‍යාපාරයෙන් සිදුකරන සේවය විශිෂ්ටයි - අමාත්‍ය අකිල විරාජ්

ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ 12 වැනි ජාතික කබෝරිය ඊයේ (23) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේදී පැවැත්විණි.

බාලදක්ෂ සංගමය මඟින් වැදගත් ජාතික මෙහෙවරක් පාසල් මට්ටමේ සිට ස්වේච්ඡාවෙන් සිදු කරමින් සිටින බවත්, මෙම සේවය ඉතා ඉහළ මට්ටමින් පවත්වාගෙන යාමට සමත් වී තිබීම අතිශයින්ම අගය කරන බවත් විශේෂයෙන්ම තමාද පාසල් යන අවදියේදී බාල දක්ෂ ව්‍යාපාරයට සම්බන්ධව සිටි නිසා ඒ තුළින් ලැබෙන පන්නරය සහ ශක්තිය අත්දැකීමෙන්ම හඳුනාගෙන සිටින බවත් එහිදී අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේය. බාල දක්ෂ ව්‍යාපාරය මඟින් සමාජයට නායකත්වය සපයන නායකයින් බිහිකිරීමට අවශ්‍ය පසුබිම නිර්මාණය කර දෙන අතර, අභියෝගවලට මුහුණ දීමටත්, සාමූහිකව කටයුතු කිරීමටත්, නිවැරදි තීරණ ගැනීමටත් කුඩා කල සිටම දරුවන් හුරුකරවීමට මේ හරහා ලබාදෙන ශක්තිය මහත් පිටුබලයක් සලසන බව අමාත්‍යවරයා එහිදී වැඩිදුරටත් පැවසීය.

12 වැනි ජාතික කබෝරිය වෙනුවෙන් සකස් කළ බාල දක්ෂ ලාංඡනය, බාලදක්ෂ ලේන්සුව, බාල දක්ෂ ගීතය සහ බාල දක්ෂ වෙබ් අඩවිය එළිදැක්වීමද එහිදී සිදුකෙරිණි. ශ්‍රී ලංකා බාලදක්ෂ සංගමයේ ප්‍රධාන කොමසාරිස් මෙරිල් ගුණතිලක මහතා ප්‍රමුඛ නියෝජ්‍ය බාලදක්ෂ කොමසාරිස්, පෝතක බාල දක්ෂ කොමසාරිස්, ජාත්‍යන්තර කොමසාරිස්, විශේෂ කොමසාරිස්වරුන්, මූලස්ථාන කොමසාරිස්වරුන් මෙන්ම බාල දක්ෂ ආචාර්යවරුන්, බාලදක්ෂ දරුවන් සහ ඔවුන්ගේ දෙමව්පියන් රැසක් මේ අවස්ථාවට එක්ව සිටියහ. ලෝකයේ රටවල් 170ක් තුළ මිලියන 42කට අධික සාමාජික පිරිසක් සාමාජිකත්වය දරමින් ක්‍රියාත්මක වන බාල දක්ෂ ව්‍යාපාරය තුළ ශ්‍රී ලංකා බාල දක්ෂ ව්‍යාපාරය නියෝජනය කරමින් සාමාජිකයන් 70000කට ආසන්න පිරිසක් ක්‍රියාකාරීව සිටී.