පිරිසිදු රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට විගණන සේවය ශක්තිමත් කළ යුතුයි

 ඡායාරූපය:

පිරිසිදු රාජ්‍ය සේවයක් ගොඩනැඟීමට විගණන සේවය ශක්තිමත් කළ යුතුයි

වංචාව, දූෂණය සහ හොරකම මුල් බැසගෙන තිබෙන මේ රට ගොඩනැඟීමට නම් විගණන සේවය ශක්තිමත් කළ යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ අද (27) බත්තරමුල්ල විගණන දෙපාර්තමේන්තු ශ‍්‍රවණාගාරයේ පැවති ශ‍්‍රී ලංකා විගණන සේවා සංගමයේ 61 වන වාර්ෂික මහා සභා රැස්වීම අමතමිනි.

රාජ්‍ය ආයතන තුළ වංචා, දූෂණ සහ අක‍්‍රමිකතා සිදු නොවන්නේ නම් වාර්ෂික අය වැය පරතරය පියවා ගැනීමට විදේශීය ණය සහ රාජ්‍ය බැංකුවලින් මුදල් ලබා ගැනීමට සිදු නොවන බව මෙහිදී සඳහන් කළ ජනාධිපතිවරයා රජයට ලැබිය යුතු ආදායම විනාශ කරන දෙපාර්තමේන්තු කිහිපයක් අද පාලනය කළ නොහැකි තත්ත්වයට පත්ව තිබෙන බවද කියා සිටියේය. මේ රටේ රාජ්‍ය ආදායම විනාශ කර දමන එම ආයතන පිළිබඳ කිසිවෙකු කතා නොකරන අතර ඒ පිළිබඳ මාධ්‍ය ආයතනවලින්ද අනාවරණයක් සිදු නොවීම කනගාටුවට කරුණක් බව ජනාධිපතිවරයා එහිදී පැවසීය.

එහිදී අදහස් දැක්වූ ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේ තමා පිළිබඳ කුමන අන්දමේ විවේචන සිදු කළද, ජනාධිපතිවරයා ලෙස පැවරී ඇති වගකීම් සහ යුතුකම් ඉකුත් සිව් වසර තුළ තමා නොපිරිහෙළා ඉටුකර තිබෙන බව නොබියව ප‍්‍රකාශ කළ හැකි බවයි. මෙරට විශාලතම මංකොල්ලය වූ මහ බැංකු මංකොල්ලය පිළිබඳව ජනාධිපති කොමිසමක් පත්කර වැරදිකරුවන් රටට පෙන්වීමට කටයුතු කළද, පවතින රජය වෙනස් වන තුරු වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට අවස්ථාව නොලැබෙනු ඇති බව  ජනාධිපතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

මහබැංකු මංකොල්ලය පිළිබඳ සෙවීමට පත් කළ ජනාධිපති කොමිසමේ ප‍්‍රධාන නිර්දේශයක් වන වෝහාරික විගණනය තවමත් ආරම්භ වී හෝ නොමැති අතර, එම වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනතේ එක් වගන්තියක් වෙනස් කළ යුතු වුවද,  එය  දිනෙන් දින අතපසු වූ අයුරු ජනාධිපතිවරයා සිහිපත් කළේය. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභා පනත යටතේ ජනාධිපති කොමිසමේ නිර්දේශ කි‍්‍රයාත්මක කිරීමේ දී පවතින නීතිය අනුව කටයුතු කරන්නේ නම් වැරදිකරුවන්ට දඬුවම් ලබාදීමට වසර 15 -20 කාලයක් ගතවනු ඇති බවද ජනාධිපතිවරයා කියා සිටියේය. එමෙන්ම 2015ට පෙර පැවති රජයේ වංචා දූෂණ සෙවීමට ජනාධිපති කොමිෂන් සභාවක් පත් කර එහි වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන අතර එම නිර්දේශ අනුව ඉදිරි කටයුතු සිදු කිරීම අදාළ ආයතනවල වගකීමක් බවද ජනාධිපතිවරයා කීය.

එම කොමිසම මෙන්ම මෙම ආණ්ඩුවේ වංචා දූෂණ පිළිබඳව සෙවීමටද තමා පසුගියදා ජනාධිපති කොමිසමක් පත් කළ බව සඳහන් කළ ජනාධිපතිවරයා තමන්ගේම ආණ්ඩුවේ වංචා දූෂණ සෙවීමේ එවන් කොමිසමක් කිසිඳු රාජ්‍ය නායකයෙකු විසින් පත් කර නොමැති බවත්, සීමාවකින් තොරව සියලු වංචා හා දූෂණ පිළිබඳ සොයා බැලීමට පත් කළ එම කොමිසමට මේ වන විට පැමිණිලි දහස් ගණනක් ලැබී ඇති බවත් අදාළ විනිසුරුවරුන් විසින් එම විමර්ශන කටයුතු ඉදිරියට කි‍්‍රයාත්මක කරනු ඇති බවත් සඳහන් කළේය. එමෙන්ම විගණන සේවා කොමිෂම ස්ථාපිත කිරීමේදී සිදු වූ බාධා පිළිබඳවද සිහිපත් කළ ජනාධිපතිවරයා කියා සිටියේ එහි බලතල ලබාදීමේදී බියට පත් වූයේ රාජ්‍ය සේවයේම කොටසක් බවත් අවංකව රට වෙනුවෙන් තම සේවය ඉටු කරන්නේ නම් නීති රීතිවලට බිය වීමට කිසිදු හේතුවක් නොමැති බවත්ය.