මහනුවර වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනතා අයිතියට

 ඡායාරූපය:

මහනුවර වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනතා අයිතියට

ජාතික වකුගඩු අරමුදලේ රුපියල් මිලියන 628ක මූල්‍ය ප්‍රතිපාදන උපයෝගි කරගනිමින් මහනුවර මහ රෝහලට අනුබද්ධිතව ඉදිකරන ලද වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් ඊයේ (25) ජනතා අයිතියට පැවරිණි.

 

රජයේ කිසිදු මුදලක් වැය නොකරමින් පූර්ණ ලෙසම ජාතික වකුගඩු අරමුදලේ ප්‍රතිපාදන මත මෙම මධ්‍යස්ථානය ඉදිකර තිබීම විශේෂත්වයක් වන අතර මෙරට වකුගඩු රෝගින් වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් ඉටුකළ විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතාගේ නමින් මෙම මධ්‍යස්ථානය නම් කිරීමට ජනාධිපතිවරයා කටයුතු කර තිබේ. සමරු ඵලකය නිරාවරණය කර විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර වකුගඩු රෝගී සහන සත්කාර හා සුබසාධන මධ්‍යස්ථානය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවකද නිරත විය. අස්ගිරි පාර්ශ්වයේ අනුනායක පූජ්‍ය ආණමඩුවේ ශ්‍රී ධම්මදස්සී අනුනායක ස්වාමින් වහන්සේද එම අවස්ථාවට එක්ව සිටියහ.

 

අනතුරුව මහනුවර ගැටඹේ ක්‍රීඩාංගණයේ පැවති ජන හමුවේදී ශ්‍රී ලංකාවේ සමස්ථ වකුගඩු රෝගීන් වෙනුවෙන් සහ වකුගඩු ආසාදන රෝග මූලය සොයා ගැනීම වෙනුවෙන් අසම සම සේවාවක් ඉටුකළ සහ වකුගඩු රෝගය මෙරටින් තුරන් කිරීමට කැපවී සිටින පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ මහාචාර්ය විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර මහතාගේ සේවය අගයමින් විශේෂ සම්මාන තිළිණයක් පිළිගැන්වීම ජනාධිපතිවරයා අතින් සිදු විය. වකුගඩු රෝගී පවුල් 670ක් සඳහා ගෘහස්ථ ජල පෙරණ යන්ත්‍ර ලබාදීම සංකේතවත් කිරීම, වකුගඩු රෝගීන් 500 දෙනෙකුට රුධිර පීඩන මාපක ලබාදීම සංකේතවත් කිරීම, වකුගඩු රෝග නිවාරණය පිළිබඳ දීප ව්‍යාප්තව පාසල් දරුවන් අතර පැවති තරඟාවලියේ මහනුවර දිස්ත්‍රික්කයේ ජයග්‍රාහක සිසුන්ට සම්මාන හා තිළිණ පිළිගැන්වීම ඇතුළු වැඩසටහන් රැසක්ද ජනාධිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් සිදු විය.

 

ජාතික වකුගඩු අරමුදල සඳහා නිරෝගා ලොතරැයියේ දායකත්වය අගයමින් 2019 ජනවාරි මාසයට අදාළ දායකත්වය වන රුපියල් මිලියන 09.06ක චෙක්පත ජනාධිපතිවරයා වෙත පිළිගැන්වීමද සිදු වූ අතර ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් සිදු කරනු ලබන සුවිශේෂී කැපවීම උදෙසා උපහාර පුද කරමින් මහනුවර දිස්ත්‍රික් වකුගඩු ආරක්ෂණ සංගමය විසින් ජනාධිපතිවරයා වෙතද විශේෂ උපහාර තිළිණයක් පිළිගැන්වීය. එමෙන්ම මහනුවර දිස්ත්‍රික් වකුගඩු රෝග සහන සත්කාරක හා සුබසාධන මධ්‍යස්ථානය කඩිනමින් ඉදිකර ජනතා අයිතියට පවරාදීමට දායක වූ ශ්‍රී ලංකා යුද හමුදා නිලධාරින්ද ජනාධිපතිවරයා අතින් ඇගැයීමට ලක් විය.