කිසිඳු අයුරකින් විදුලි ගාස්තු ඉහළ නොදමන බව ඇමති රවී කියයි

 ඡායාරූපය:

කිසිඳු අයුරකින් විදුලි ගාස්තු ඉහළ නොදමන බව ඇමති රවී කියයි

කිසිඳු අයුරකින් විදුලි ගාස්තු ඉහළ නොදමන බවත් විදුලි ගාස්තු ඉහළ දමා පාරිභෝගිකයන් අසීරුතාවයට පත් කිරීම නොව විදුලි ගාස්තු පහළ දැමීමට ඇති හැකියාව පිළිබඳ තමන් සළකා බලමින් සිටින බවත් විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසයි. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පසුගියදා (24) මහනුවරදී අස්ගිරි සහ මල්වතු මහානායක ස්වාමින් වහන්සේලා බැහැ දැකීම සදහා පැමිණ අවස්ථාවේදීය.

 

පාරිභෝගිකයා වෙත විදුලිය ලබා දීමේදී මේ වන විට විදුලි ඒකකයක් නිපදවීම සඳහා රුපියල් 23ත් 24ත් අතර මුදලක් නිෂ්පාදන පිරිවැය වශයෙන් දැරීමට සිදු වුවත් එය අලෙවි කරන්නේ රුපියල් 16ක මිලකට බවත් නිෂ්පාදන පිරිවැය සහ අලෙවිය අතර එවැනි සැලකිය යුතු අලාභයක් තිබුණත් පාරිභෝගිකයා අපහසුතාවයට ලක් කොට එම පාඩුව පියවා ගැනීම සුදුසු නොවන බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය. ඒ නිසා  විදුලි බලය ජනනය කිරීම සඳහා වැය වන නිෂ්පාදන වියදම අඩු කිරීම සහ දූෂණය නැති කිරීම තුළින් මෙම තත්ත්වය පාලනය කිරීමට හැකියාව ඇති බව පැවසූ අමාත්‍යවරයා කියා සිටියේ ඒ සඳහා තමන් නොබියව කටයුතු කරන බවයි. ජනතා හිතවාදීව වැඩකටයුතු කරගෙන යෑමේදී සුළු පිරිසක් ඊට බාධා කරන අතර පවතින තත්ත්වය විකෘති කර පෙන්වමින් ජනමාධ්‍යයන්ද යොදා ගනිමින් එම පිරිස එම ජනහිතකාමී කටයුතු සඳහා අකුල් හෙලන බවත් රවී කරුණානායක මහතා පැවසීය.