ඉන්දීය දුම්රිය එන්ජිම ධාවන අර්බුදයක්

 ඡායාරූපය:

ඉන්දීය දුම්රිය එන්ජිම ධාවන අර්බුදයක්

දුම්රිය වෘත්තීය සමිති චෝදනා අමූලික බොරු - ප්‍රවාහන නියෝජ්‍ය අමාත්‍ය

[නිමල් රාජපක්ෂ]

ඉන්දියානු ණය ආධාර යටතේ රුපියල් කෝටි 75ක මුදලකට මෙරටට ගෙන්වූ එම්-11 වර්ගයේ දුම්රිය එන්ජිම ටොන් 120ක බරින් යුතු බැවින් එය ධාවනය කිරීමට සුදුසු පරිදි මෙරට දුම්රිය මාර්ග පද්ධතිය වහා නවීකරණය කළ යුතුව ඇතැයි දුම්රිය වෘත්තීය සමිති පවසයි.

දැනට මෙරට දුම්රිය මාර්ගවල දුම්රිය ධාවනය කිරීමේදී රේල් පිලී තනා ඇත්තේ රාත්තල් 80, 86ක හා 90ක බරක් දැරීමට වන අතර දුම්රිය පාලම්වලට දැරිය හැක්කේ ඇක්සල් ලෝඩ් 18.5ක බරකි. ශ්‍රී ලංකාවට ගැළපෙන වර්ගයේ දුම්රිය එන්ජිමක් රුපියල් කෝටි 30කට හෝ 32ක උපරිම මුදලකට යුරෝපයෙන් මිලට ගැනීමේ හැකියාව තිබියදී මෙම බරින් අධික ඉන්දීය දුම්රිය එන්ජිම වෙනුවෙන් රජය රුපියල් කෝටි 75කට ආසන්න මුදලක් වැය කර තිබේ. තවද එන්ජිමට අමුණා ධාවනය කළ හැක්කේ චීනයෙන් ගෙන්වූ දුම්රිය මැදිරි පමණක් බව පැවසෙන අතර රුමේනියාවේ නිෂ්පාදිත දුම්රිය මැදිරි ඒ සඳහා යොදා ගත නොහැකි බවද බවද දුම්රිය තාක්ෂණ ශිල්පීහු පෙන්වා දෙති.

දුම්රිය වෘත්තීය සමිති සන්ධානයේ සම කැඳවුම්කරු එස්.පී. විතානගේ මහතා පැවසුවේ සාමාන්‍ය දුම්රිය එන්ජිමක වැකුම් තිරිංග සහ වායු තිරිංග යන ක්‍රමවේද ද්විත්වයම යොදා ඇත්තේ කඳු ප්‍රදේශ ආශ්‍රිතව ධාවනය කිරීමේදී පවා අනතුරුදායක තත්ත්වයකට මුහුණ දීමට ඔරොත්තු දෙන අයුරින් වුවත් ආනයනය කළ මෙම නව ඉන්දීය දුම්රිය එන්ජිමේ වායු තිරිංග ක්‍රමවේදය පමණක් පවතින හෙයින් අනතුරුදායක අවස්ථාවකදී දුම්රිය නියාමකට තිරිංග තද කිරීමේ අවස්ථාව අහිමි වී ඇති බවයි.

එසේම අලුතින් ආනයනය කළ මෙම ඉන්දීය දුම්රිය එන්ජිම දිගින් වැඩි වීමද හේතුවෙන් මාලිගාවත්ත, මරදාන, පොල්ගහවෙල, යාපනය හා කන්කසන්තුරේ යන දුම්රිය ස්ථානවල හා කොටුව දුම්රිය ස්ථානයේ දුම්රිය මාර්ග දෙකකින් පමණක් එහි ගමන් මාර්ගය වෙනස් කරගත හැකි වීම තවත් බාධකයක් බවත් අනික් සියලු දුම්රිය ස්ථාන අසල සවි කර ඇති දුම්රිය පොයින්ට් මාරු කර මාර්ග වෙනස් කිරීමට නොහැකි තත්ත්වයක් උද්ගත වී තිබීමද අභියෝගයක්ව ඇති බවත් එස්.පී. විතානගේ මහතා පැවසීය. එන්ජිමේ පවතින තිරිංග පද්ධතියත්, එහි දිග හා බරත් ඉතා ගැටලුසහගත තත්ත්වයකට පත්වී තිබීම හේතුවෙන් ඉදිරියේ ගෙන්වීමට තිබෙන එම්-11 දුම්රිය එංජින් හතර වෙනුවට මෙරටට ගැළපෙන ආකාරයේ දුම්රිය එංජින් ගෙන්වීමට දුම්රිය බලධාරීන් කටයුතු කළ යුතුව ඇති බවද එස්.පී. විතානගේ මහතා වැඩිදුරටත් පැවසීය.

මේ සම්බන්ධයෙන් ‘රැස’ පුවත්පත කළ විමසීමකදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා නියෝජ්‍ය අමාත්‍ය අශෝක අබේසිංහ මහතා කියා සිටියේ මෙම චෝදනා කරන වෘත්තීය සමිතිවල සමහර පුද්ගලයන් දුම්රිය එංජින් ගෙන්වනු ලබන තාක්ෂණික අධීක්ෂණ කමිටු නියෝජනය කරන බවයි.

“වෘත්තීය සමිතිවලට චෝදනා කරන්න පුළුවන්. නමුත් ඒ අයත් දුම්රිය එංජින් ගෙන්වනු ලබන තාක්ෂණික කමිටුවල අධීක්ෂණ කටයුතු කරනවා. ඒ අයගේ අධීක්ෂණය සහ නිගමන අනුව තමයි දුම්රිය එංජින් ඇතුළු බලවේග කට්ටල ගෙන්වන්නේ. අනෙක් කාරණය තමයි දුම්රිය එංජින් නිෂ්පාදනය කරන ඉන්දීය සමාගම මෙරට දුම්රිය මාර්ගවලට ගැළපෙන අයුරිනුයි එංජින් නිපදවන්නේ. ඒ නිසා මෙරට දුම්රිය මාර්ගවලට නොගැළපෙන එංජින් ගෙන්වා ඇති බවට වෘත්තීය සමිති කියන කතාව පදනම් විරහිතයි.”

මාතෘකා