මෛත්‍රී - රනිල් දේශපාලන දීගය දිවි හිමියෙන් රකිනවා

 ඡායාරූපය:

මෛත්‍රී - රනිල් දේශපාලන දීගය දිවි හිමියෙන් රකිනවා

අමාත්‍ය සජිත් ප්‍රේමදාස

"මේ සජිත් ඉන්නකම් මෛත්‍රී - රනිල් දේශපාලන විවාහය කඩන්න මොන ජගතෙකුටවත් ඉඩ තියන්නේ නෑ. ජනතා වරම දුන්නේ රනිල් - මෛත්‍රී විවාහයට මිසක් හොර විවාහ කරගන්න නෙමෙයි."

නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා සෙවනගල මිණිපහන්ගම ගම්මානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වෙමින් පෙරේදා (16) අවධාරණය කළේය.

සෙවනගල නුගේගලයාය ප්‍රදේශයේ ඉදි වූ 165 වැනි උදා ගම්මානය වන මිණිපහන්ගම උදා ගම්මානය නිවාස 28කින් සමන්විත වන අතර ව්‍යාපෘතිය සඳහා වියදම් කර ඇති මුදල රුපියල් ලක්ෂ 935කි. උත්සව සභාව අමතමින් අමාත්‍යවරයා වැඩිදුරටත් මෙසේද පැවසීය.

"අපි මේ රනිල් - මෛත්‍රී විවාහය දිවි හිමියෙන් ආරක්ෂා කරගන්නවා. මොකද මේ රටේ වැඩි බහුතරයක් ජනතාව කතිරය ගැහුවේ මෛත්‍රී - රනිල් විවාහය මිසක් වෙන විවාහ සිදු කරගන්න නෙමෙයි. එක එක්කෙනාට හොර පාරෙන් ඇවිත් අගමැති වෙන්න හෝ වෙනත් මැති ඇමතිකම් ගන්න මේ රටේ මිනිස්සු කතිරය ගැහුවේ නෑ. අද මේ ආණ්ඩුවට තියෙන්නේ නියම ජනවරමයි. මේ තියෙන්නේ නියම ජනතා ඡන්දයෙන් ආ ආණ්ඩුවක් මිසක් හොර පාරෙන් ආ ආණ්ඩුවක් නෙමෙයි. ඒ නිසා මේ රටේ ජනතාව ලබා දුන් ජන වරම අපි දිවි හිමියෙන් ආරක්ෂා කරනවා වගේම මේ දේශපාලන දීගයත් කාටවත්ම කඩන්න ඉඩ තියන්නේ නෑ කියන එක මම වගකීමෙන් යුතුව කියනවා."

[නුවන් ජයසේකර]

මාතෘකා