වසරකට මවුපියන් 3000ක් මහමඟදී මරුට

 ඡායාරූපය:

වසරකට මවුපියන් 3000ක් මහමඟදී මරුට

වසර 30ක යුද්ධයෙන් මියගිය පිරිසකට වඩා වැඩි පිරිසක් පසුගිය වසර 20 තුළ දී මාර්ග අනතුරු හේතුවෙන් මියගොස් ඇති බවත් වර්තමානයේ ශ්‍රී ලංකාව තුළ මාර්ග අනතුරු හේතුවෙන් දෙමාපියන් තුන්දහසක් පමණ මිය යන අතර එයින් 1, 500ක් පමණ පිරිමි පුද්ගලයන් වන බවත් මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති වෛද්‍ය සිසිර කෝදාගොඩ මහතා පැවැසීය. පාසල් දරුවන් 40ට වැඩි පිරිසක් වාර්ෂිකව මියගොස් 70කට අධික පිරිසක් ආබාධිත වීමේ තත්ත්වයක් උද්ගත වී ඇති බවද ඒ මහතා පැවසීය.

ඊයේ (11) ගම්පහ බණ්ඩාරනායක විදුහලේ පැවැති උත්සවයක් අමතමින් කෝදාගොඩ මහතා වැඩිදුරටත් පැවසුවේ, ලොව සෑම රටකම උදෑසන පාසල් යන දරුවන්ගෙන් 500ක් පමණ දෙනා මාර්ග අනතුරු හේතුවෙන් දෛනිකව මිය යන අතර ඒ අනුව ලෝකයේ මසකට දොළොස්දහසක් පමණ දරුවන් සිය ජීවිතවලින් සමුගන්නා බවයි.

අනතුරුවලට ලක් වන්නන්ගෙන් සියයට 75ක් අඩු ආදායම්ලාභීන් බවත් කී සිසිර කෝදාගොඩ මහතා වැඩිදුරටත් මෙසේද ප්‍රකාශ කළේය.

"යුද්ධය තිබූ වසර තිහ තුළ දී ආබාධිත වූ සංඛ්‍යාවට වඩා වැඩි පිරිසක් වසර විස්සක් තුළ ආබාධිත වී තිබෙනවා. 2010 වසරේ දී එක්සත් ජාතීන්ගේ සංවිධානය මුළු ලෝකය දැනුවත් කරමින් කියා සිටියේ සෑම රටක්ම මාර්ග අනතුරු සියයට පනහකින් අඩු කරගත යුතු බවයි. එසේ නොකළොත් 2030 වසර වන විට ලෝකයේ වැඩියෙන්ම හැදෙන ලෙඩ පහ අතරින් එකක් බවට මාර්ග අනතුරු පත් වෙතැයි එම සංවිධානය අවධාරණය කළා."

[නිමල් රාජපක්ෂ]

මාතෘකා