මධූෂ්ගේ සහායකයකු සූරියවැවදී අත්අඩංගුවට

 ඡායාරූපය:

මධූෂ්ගේ සහායකයකු සූරියවැවදී අත්අඩංගුවට

ඩුබායි පොලිසියෙන් අත්අඩංගුවට ගෙන සිටින පාතාල නායක මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයෙකු ටී 56 ගිනිඅවියක් හා ජීව උණ්ඩ 29ක් සැඟවීමට යමින් සිටියදී සූරියවැව විහාරගලදී තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ හා තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ නිලධාරීන් විසින් ඊයේ (10) පෙරවරුවේ අත්අඩංගුවට ගැනිණි.

මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ පාතාල නායක මධූෂ් සමග ඍජුව සම්බන්ධතා පවත්වමින් අපරාධ රැසකට සම්බන්ධව ක්‍රියා කර ඇති අකුරැස්ස, තෙලිජ්ජවිල, තල්ගස්වත්ත පදිංචි හෙට්ටිආරච්චිගේ අසේල එරංග නැමති 23 හැවිරිදි සැකකරුවෙකි.

මේ වන විට මිනීමැරුමක් සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින මාකඳුරේ මධූෂ්ගේ සමීපතමයකු වන රොටඹ අමිල සම්පත්ගේ ටී 56 වර්ගයේ ගිනිඅවිය සූරියවැව හත්පෝරුව ප්‍රදේශයේ පිහිටි මධුෂ්ගේ පියා පදිංචිව සිටි නිවසේ සැඟවීමට රැගෙන යමින් සිටියදී සැකකරු මෙලෙස අත්අඩංගුවට පත් වී ඇත.

මධූෂ් සම්බන්ධයෙන් මේ දිනවල කෙරෙන විවිධ පරීක්ෂණ කටයුතු හේතුවෙන් ගිනිඅවිය හා පතුරම් සැඟවීමට රැගෙන යමින් සිටින බවට තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරි ලක්සිරි ගිතාල් මහතා ලද තොරතුරක් මත මෙම වැටලීම කර ඇති අතර අත්අඩංගුවට පත් සැකකරු මධූෂ්ගේ පියාගේ අවමංගල්‍ය උත්සවයේ සියලු කටයුතු සොයා බලා කළ අයකු බවත් ඔහු මධූෂ් සමග දුරකථනයෙන් ඍජුවම සම්බන්ධකම් පවත්වන අයකු බවත් පොලිසිය පවසයි. අත්අඩංගුවටපත් සැකකරු ටී 56 ගිනිඅවිය හා ජීව උණ්ඩ 29 සමග වැඩිදුර පරීක්ෂණ සඳහා සූරියවැව පොලීසියට බාර දීමට නියමිත අතර ඔහු හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

තංගල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී ලක්සිරි ගිතාල් මහතාගේ උපදෙස් පරිදි තංගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දයානන්ද, තංගල්ල කොට්ඨාස සංවිධානාත්මක අපරාධ මැඩලීම් ඒකකයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක කුමාර දඩල්ලගේ, පොලිස් සැරයන්වරුන් වන (10581) මුණසිංහ, (25437) චන්දනායක, (53724) ගාමිණී, පොලිස් කොස්තාපල්වරුන් වන (44974) මංජුල, (40694) චමින්ද, (40753) හෙට්ටිආරච්චි, (78435) චමින්ද, (68664) දේශාන්, (62427) සිරිවර්ධන, (35599) නාමල්, (74923) හේරත්, (86328) ශිරන්ත හා (79437) ප්‍රතාපසිංහ යන නිලධාරීන් එක්ව වැටලීම සිදු කර තිබේ.

මේ අතර මාකඳුරේ මධූෂ්ගේ දෙවැනි බිරිඳට අයත් බව පවසන පාදුක්ක, පොරේගේදර ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ මෝටර් රථයක් සමඟ පුද්ගලයන් දෙදෙනෙකු පාදුක්ක පොලිසිය පෙරේදා (09) අත්අඩංගුවට ගෙන තිබේ.

පාදුක්ක පොලිසියට ලද තොරතුරක් මත පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඩබ්ලිව්.කේ. විතාන මහතා සහ උපපොලිස් පරීක්ෂක එස්. මල්ලිකාරච්චි මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් අදාළ ස්ථානය වටලා මෝටර් රථය සමඟ සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ. සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ පාදුක්ක පොලිසිය විසින් කරනු ලබයි.

[නුවන් ජයසේකර] [යුරේෂ් ඉන්දික] [ප්‍රියංගි ජයසිංහ]

මාතෘකා