ජනපති ඉල්ලීම ඉටු කරමින් චීනයෙන් ජල බවුසර් රථ 90ක්

 ඡායාරූපය:

ජනපති ඉල්ලීම ඉටු කරමින් චීනයෙන් ජල බවුසර් රථ 90ක්

ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් මහජන චීන සමූහාණ්ඩුවෙන් කළ ඉල්ලීමකට අනුව ලද ජල බවුසර් රථ 90ක් දිස්ත්‍රික් ලේකම් කාර්යාල වෙත ප්‍රදානය කිරීම රාජ්‍ය පරිපාලන හා ආපදා කළමනාකරණ අමාත්‍ය රංජිත් මද්දුම බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (5)  සිදු විය. එම අවස්ථවට එක් වූ අමාත්‍යවරයා අඳහස් දක්වමින් මෙසේ සඳහන් කළේය.

“අද අපේ රටට විවිධාකරයේ ආපදාවන්ට මුහුණපාන්නට වෙලා තියෙනවා. ඉතිහාසයේ වෙන කවරදාටත් වැඩිය ඒ තත්ත්වය අද තීව්‍ර වෙලා තියෙනවා. මේ තත්ත්වයට පෙර පැවති අනෙක් රජයන් වලට වඩා අපේ රජයට මුහුණ දෙන්න වෙලා තියෙනවා. මේ දිනෙන් දින ඉහළ යන ස්වාභාවික ආපදාවන්ගෙන් බහුතරයකට වගකිව යුත්තේ රටේ ජනතාවයි. ඔවුන් විසින් හිතා මතා සිදුකරණ පාරිසරික විනාශයන් මේ අපාදාවන්ට මුල් වී තියෙනවා. කොතරම් ආපදාවන්ට අපි රටක් ලෙස මුහුණ දුන්නත් ආපදාවන්ගෙන් අසරණ වන ජනතාවට අවශ්‍ය කඩිනම් සහන දීමට අපි රජයක් ලෙස බැඳී ඉන්නවා. මම ආපදා කළමනාකරණ අමාත්‍ය ධූරය භාරගත් ගමන් මට සිදුවුණේ උතුරේ ජනතාවට සහන දීමේ කටයුත්ත කරන්න, අපි ඒ දේ නිවැරදිව කළා. මම මුලින් කිව්ව විදියට මේ ආපදාවන් විශාල වශයෙන් අපි විසින් ළඟා කරගත් දේවල්. අපේ නිලධාරීන් මාව දැනුවත් කළ විදියට අපිට දැවැන්තම ප්‍රශ්නයක් වෙන නියඟය මිනිසුන්ගේ පරිසර හිතකාමී නොවන බව නිසාම ඇතිවුන දේවල්. අද කුරුණෑගල දිස්ත්‍රික්කයට බලපාන නියං තත්ත්වයට විශාල වශයෙන් බලපාන්නේ මාඔයේ කරණ නීති විරෝධි වැලි ගොඩ දැමීම් කියලයි වාර්තා වෙන්නේ. අනෙක් දිස්ත්‍රික්කවලත් මේ තත්ත්වය මෙසේමයි. මම විශ්වාස කරනවා මේ විනාශයන් සම්බන්ධයෙන් අපි අමාත්‍යංශයක් විදියට ඉදිරියේදී අනෙක් අමාත්‍යංශත් සමඟ ඒකාබද්ධ වුන වැඩ සටහනකට යා යුතුයි. ජනතාවගේ පාරිසරික අවබෝධය අවම වනතාක් මේ සිදුවන ආපදාවන් අවම කරගන්නට අපිට නොහැකි වේවි. මේ කටයුත්ත සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, ක්ෂේත්‍රයේ විශේෂ දැනුමක් සහිත විද්වතුන්ගේ සහය ලබා ගතයුතුයි” යැයිද පැවසීය.

මෙම ජල බවුසරයක් රුපියල් ලක්ෂ 140කට වඩා වැඩි වටිනාකමකින් යුක්තය. ජල බවුසර 90න් බවුසර 50ක් ලීටර 15000ක ධාරිතාවයෙන් යුක්ත වන අතර ඉතිරි බවුසර 40 ලීටර 10000කින් යුක්ත වේ.