අඩ සැප බස් ඉවතට

 ඡායාරූපය:

අඩ සැප බස් ඉවතට

මගී ජනතාවට කිසිදු පහසුකමක් ලබා නොදෙමින් සහ මගී ජනතාවගේ මුදල් ගසාකමින් වසර ගණනාවක් ඔස්සේ ක්‍රියාත්මක කර තිබෙන අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කිරීම කෙරෙහි ප්‍රවාහන අමාත්‍යාංශයේ අවධානය යොමු වී තිබේ.

මගී ප්‍රවාහන කළමනාකරණ, විදුලිබල හා බලශක්ති අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රවාහන අමාත්‍යාංශයේ සහ ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ නිලධාරීන් සමඟ මෙම කරුණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් පැවැත්වූ අතර අර්ධ සුඛෝපභෝගී බස්රථවල ඇති එකම වෙනස ඒවායේ ජනෙල්වලට රෙදි කැබලි එල්ලා තැබීම පමණක් බවද මෙම සාකච්ඡාවේදී අවධාරණය කෙරිණි. අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව සම්බන්ධව ජාතික ගමනාගමන කොමිසම බස් මගීන් 10,000ක් යොදා ගනිමින් සිදු කළ සමීක්ෂණයකදී මගීන් සියයට 100ක්ම ප්‍රකාශ කර ඇත්තේ අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කළ යුතු බවයි. එම සේවාව මඟින් කිසිදු විශේෂ පහසුකමක් මහජනතාවට නොලැබුණත් සාමාන්‍ය බස්රථවලට වඩා වැඩියෙන් මුදල් ගෙවීමට තමන්ට සිදුවන බවද මගීන් පෙන්වා දී තිබේ. මෙම කරුණු සැලකිල්ලට ගනිමින් අර්ධ සුඛෝපභෝගී බස්රථ සේවාව අහෝසි කිරීමට තමන් කටයුතු කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා සඳහන් කළේය.

[දිනුක මලින්ද හේරත්]

News Order: 
6
මාතෘකා