චානුක රත්වත්තේගේ විදෙස් ගමන් තහනම ජනවාරි 15 දක්වා ඉවතට

 ඡායාරූපය:

චානුක රත්වත්තේගේ විදෙස් ගමන් තහනම ජනවාරි 15 දක්වා ඉවතට

ශ්‍රී ලංකා මහ බැංකුවේ බලපත්‍රයක් නොමැතිව මූල්‍ය ආයතනයක් පවත්වාගෙන ගිය බවට චෝදනා එල්ල වී සිටින එන්. ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී සමාගමේ සභාපතිවරයා ලෙස කටයුතු කරන චානුක රත්වත්තේ මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ජනවාරි මස 15 වැනිදා දක්වා ඉවත් කිරීමට කොළඹ මහාධිකරණය අද (02) නියෝග කළේය.

 

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු විකුම් කළුආරච්චි මහතා ඉදිරියේ කැඳවනු ලැබීය. එහිදී විත්තිකාර චානුක රත්වත්තේ මහතා වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් තම සේවාදායකයාට විදේශගත වීම සඳහා අවශ්‍යතාවක් මතුව තිබෙන බවත් ඒ සඳහා දැනට අධිකරණය මඟින් පනවා තිබෙන විදේශ ගමන් තහනම ජනවාරි මස 15 වැනිදා තෙක් ඉවත් කිරීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා සිටියේය. එම ඉල්ලීම පිළිගත් විනිසුරුවරයා විත්තිකාර රත්වත්තේ මහතාට පනවා තිබෙන විදේශ ගමන් තහනම ජනවාරි මස 15 වැනිදා දක්වා ලිහිල් කිරීමට නියම කළේය.

 

මෙම නියෝගය පිළිබඳව ආගමන හා විගමන පාලකවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා ලෙසද අධිකරණය එහි රෙජිස්ටාර්වරයාට නියම කළේය. කෙසේ වෙතත් මෙම නඩුවේ ලේඛනවලට අදාළව ප්‍රකාශ කිරීමට නියමිත නියෝගයක් ලබා දීම සඳහා නඩුව නැවත දෙසැම්බර් මස 13 වැනිදා කැඳවීමටද විනිසුරුවරයා නියම කළේය. ශ්‍රී ලංකා මහ බැංකුවේ අනුමැතියකින් තොරව එන්. ට්‍රස්ට් සිකියුරිටීස් පීඑල්සී නැමති මූල්‍ය සමාගමක් පවත්වාගෙන යාම තුළින් වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් චානුක රත්වත්තේ මහතා ඇතුළු විත්තිකරුවන් හයදෙනෙකුට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව පවරා තිබේ.