විපක්ෂ නායකවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කතාව අසත්‍යයයි

 ඡායාරූපය:

විපක්ෂ නායකවරයා සහ ගෝඨාභය රාජපක්ෂ ඝාතන කතාව අසත්‍යයයි

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් කිසිඳු තොරතුරක් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් පිළිබඳව කළ විමර්ශනවලදී අනාවරණය වී නොමැති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

 

විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු හෙළි වී ඇති බවට වූ පුවත්පත් වාර්තවල කිසිඳු සත්‍යතාවක් නොමැති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකගේ නිවේදනයේ වැඩිදුරටත් දැක්වේ.  යුද හමුදා නිලධාරීන් විසින් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී සින්නයියා සිවරූබන් මේ මස 18 වැනිදා අත්අඩංගුවට ගැනීමෙන් පසු යාපනය ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාසය වෙත බාර දී තිබේ. සැකකරුගෙන් ලද තොරතුරු අනුව අවස්ථා කිහිපයකදී තවත් පුද්ගලයින් 04ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි.

 

කොළඹ ත්‍රස්ත මර්ධන සහ විමර්ශන කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරිවරයකු ඇතුළු නිලධාරීන් පිරිසක් විසින් මෙම සැකකරුවන් සම්බන්ධ වැඩිදුර පරීක්ෂණ ආරම්භ කර තිබේ. ඒ අනුව අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සොයා ගැනීමට හැකි වී ඇති අතර ටී. නිමලරාජ් සහ රූබන් ජතුසන් නැමැති දෙදෙනෙකු ඊයේ (28) පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර මේ වන විට සැකකරුවන් 07 පොලිස් අත්අඩංගුවේ පසුවන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පවසයි. විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා හෝ ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමේ උත්සාහයක් සම්බන්ධයෙන් වූ පාපොච්චාරණයක් කර ඇති බවට වන වාර්ත අසත්‍ය බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පවසයි.