2019 මහ කන්නයේ වන්දි දෙසැම්බර් මසට පෙර ලබාදෙනවා

 ඡායාරූපය:

2019 මහ කන්නයේ වන්දි දෙසැම්බර් මසට පෙර ලබාදෙනවා

2019 මහ කන්නයේ වගා හානි සඳහා වන්දි මුදල් මේ වසරේ දෙසැම්බර් මසට පෙර ගොවීන් සඳහා ගෙවීමට හැකියාවක් ඇති බව කෘෂිකර්ම, ග්‍රාමීය ආර්ථික කටයුතු, වාරිමාර්ග සහ ධීවර හා ජලජ සම්පත් සංවර්ධන අමාත්‍ය පී.හැරිසන් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ අද (29) ගම්පහ සුමේධ විද්‍යාලයේ පැවැති ගම්පහ දිස්ත‍්‍රික්කයේ 2018 යල කන්නයේ වගා හානි වූ ගොවීන් වෙනුවෙන් වන්දි ප්‍රදානයට එක්වෙමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

 

“2018 වසරේ සිට අපි පළමු වරට ගොවියාට රක්ෂණ වාරිකයක්වත් නොමැතිව අක්කරක් සඳහා වගා හානි වන්දිය 40000 ක මුදලක් ගෙවීමට සමත් වුණා. එවකට අක්කරයක හානි වන්දි මුදල පැවැතියේ රුපියල් දස දහසක් එයද හතර ගුණයකින් ඒ කියන්නේ රුපියල් හතලිස්දහසක් දක්වා ගෙවන්නේ මේ පළමු වරට වීම ගැන මම සතුටු වෙනවා. අපි දැනට ලංකාවේ හානි වූ වගාබිම් අක්කර 23‚366 සඳහා ගොවීන් 20‚366කට රුපියල් මිලියන 559ක මුදලක් ගෙවා තිබෙනවා.

ඒ වගේම මම බලාපොරොත්තුවෙනවා 2018 - 2019 මහ කන්නයට අදාලව හානිවූ ගොවිබිමි වෙනුවෙන් වන්දි ප‍්‍රදානය කරන්න. ඒ සඳහා මුදල් වෙන්කිරීමට අවශ්‍ය කටයුතු මේ දිනවල අපි සකස් කරමින් පවතිනවා. ආසන්න වශයෙන් මහ කන්නයේ අක්කර 50‚000ක් සඳහා ගොවීන් 30‚000ක් වෙනුවෙන් රුපියල් මිලියන 1‚100ක මුදලක් වැයවෙතැයි මා අපේක්ෂා කරනවා. එම වගාහානි මුදලද අපි විසින් ලබා දීමෙන් ඉතිහාසගත වන්නේ ගොවියාට වගාහානි වන්දි කඩිනමින්ම ලබාදුන් පළමු රජය ලෙස අප එක්වෙමින්.


මිරිස්, ලොකු ලූණු, වී, සෝයාබෝංචි, බඩඉරිඟු, අර්තාපල් යන බෝග වෙනුවෙන් ගංවතුර, නියඟය, වන අලි හානි හා පළිබෝධ හානි වෙනුවෙන් ගොවිජන රක්ෂණ මණ්ඩලය මෙම වගා හානි වන්දි පිරිනමන අතර ගම්පහ දිස්ත‍්‍රික්කයේ ගොවීන් 1576 දෙනකු සඳහා ලක්ෂ 230ක වන්දි මුදල් අමාත්‍යවරයාගේ ප‍්‍රධානත්වයෙන් මෙහිදී පිරිනැමිණ.