ගෝලීය ආරක්ෂක වැඩපිළිවෙළ සඳහා අග්‍රාමාත්‍යවරයා දුන් සහයෝගය ඉන්ටර්පෝල් ඇගයුමට

 ඡායාරූපය:

ගෝලීය ආරක්ෂක වැඩපිළිවෙළ සඳහා අග්‍රාමාත්‍යවරයා දුන් සහයෝගය ඉන්ටර්පෝල් ඇගයුමට

ගෝලීය ත්‍රස්තවාදය මැඩ පවත්වමින්, ගෝලීය ආරක්‍ෂාව තහවුරු කරලීම සඳහා ජාත්‍යන්තරය එකට එක්වී පොදු වැඩපිළිවෙළක් දියත් කරලීමේ අවශ්‍යතාව මනාව වටහා ගෙන ඇති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා තමන් වෙත නිබඳ ලබා දුන් සහයෝගය හේතුවෙන් ජාත්‍යන්තර ආරක්‍ෂක වැඩපිළිවෙළ වඩාත් යහපත් කරලීමට හැකි වූ බව ඉන්ටර්පෝල් ආයතනයේ මහ ලේකම් යාගෙන් ස්ටොක් (Jargen Stock) මහතා පැවසීය.

ඊයේ (27 ) අරලියගහ මන්දිරයේදී ඉන්ටර්පෝල් දූත පිරිස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වූ අවස්ථාවේදී ස්ටොක් මහතා වැඩිදුරටත් පැවසුවේ ඉන්ටර්පෝල් ආයතනය පොලිස් සංවිධානයක් වුවත්, යම් යම් අවස්ථාවන්හිදී එහි කාර්යභාරය කාර්යක්‍ෂම කරලීම සඳහා දේශපාලන සහයෝගයද අවශ්‍ය වන බවයි. ශ්‍රී ලංකාවේ පාස්කු බෝම්බ පිපිරී ගිය අවස්ථාවේදී අග්‍රාමාත්‍යවරයා ලබා දුන් දේශපාලන සහයෝගය හා මඟ පෙන්වීමත්, ශ්‍රී ලංකා පොලීසිය හා ආරක්‍ෂක අංශ දැක්වූ කැපවීමත් නිසා ඉතා කෙටි කාලයකින් සියලු සැකකරුවන් නීතියේ රැහැනට හසු කර ගැනීමට හැකි වූ බවද ස්ටොක් මහතා පෙන්වා දුන්නේය. මෙහිදී අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසූවේ ගෝලීය වශයෙන් අනාගතයේ එල්ල විය හැකි ආරක්‍ෂක අභියෝග ජය ගැනීමට නම් මුළු මහත් ජාත්‍යන්තරයම එකට එක් වී කටයුතු කළ යුතු බවයි.

ආරක්‍ෂක හා බුද්ධි තොරතුරු හුවමාරුව මෙහිදී අතිශය වැදගත් වන බව එහිදී අග්‍රාමාත්‍යවරයා අවධාරණය කළේය. තොරතුරු හුවමාරුව සඳහා නවීන තාක්‍ෂණය යොදා ගැනීමේ අවකාශය හා අවශ්‍යතාවය පිළිබඳවද එම සාකච්ඡාවේදී කරුණු හුවමාරු කර ගත් අතර ජලය, බලශක්තිය ආදී ප්‍රභවයන් වෙත මෙන්ම, මුල්‍ය හා ආර්ථික අංශයන්ටද එල්ල විය හැකි ත්‍රස්තවාදී අභියෝගයන් සම්බන්ධයෙන්ද එහිදී අවධානය යොමු කෙරිණි. ඉන්ටර්පෝල් ආයතනයේ අතිරේක අධ්‍යක්‍ෂ කරෙල් පෙලාන්, ශිරානි ඩී. ෆොන්ට්ගැලන්ඩ්, අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක, වැඩබලන පොලිස්පති චන්දන වික්‍රමසිංහ, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එම්.ආර්.එෆ්. ලතීෆ් ඇතුළු නිලධාරීහු මේ අවස්ථාවට සහභාගී වූහ.