හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

 ඡායාරූපය:

හෙට සිට වැසි තත්ත්වයේ වැඩිවීමක්

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වයේ තරමක වැඩි වීමක් හෙට (28) සිට ඉදිරි දින කිහිපයේදී බලාපොරොත්තු විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් අවධාරණය කරයි. බස්නාහිර, මධ්‍යම, සබරගමුව,දකුණු හා වයඹ පළාත්වල වැසි හෝ ගිඟුරුම් වැසි ඇති විය හැකියි.

අනුරාධපුර දිස්ත්‍රික්කයේ සිහින් වැසි ඇති විය හැකි අතර ඌව පළාතෙත් අම්පාර හා මඩකලපුව දිස්ත්‍රික්කවලත් ස්ථාන ස්වල්පයක සවස 2න් පසුව වැසි හෝ ගිඟුරුම් සහිත වැසි ඇති විය හැකිය. බස්නාහිර, සබරගමුව, දකුණු හා මධ්‍යම පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී.50 ක පමණ තද වැසි ඇති වේ.

උතුරු හා උතුරු මැද පළාත්වලත් පුත්තලම, ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්කවලත් සුළඟේ වේගය විටින් විට පැයට කි‍ලෝමීටර 50 දක්වා වැඩි විය හැකිය. මේ අතර දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී අගෝස්තු මස 27 වැනිදා සිට සැප්තැම්බර් 07 වැනිදා දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට ඍජුවම ඉහළින් පවතී. අද දහවල් 12.13ට නයිනතිවු, අලෙයිපිඩ්ඩි, මාන්දේතිවු, කිළාලි, පල්ලයි සහ මරුතඩිකුලම් යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.