පොහොට්ටුවේ බොරු ප්‍රචාරවලට එරෙහිව ITN  සීඅයිඩීයට

 ඡායාරූපය:

පොහොට්ටුවේ බොරු ප්‍රචාරවලට එරෙහිව ITN  සීඅයිඩීයට

රාජපක්ෂ මහතාගේ පවුලට මඩ ගැසීමට අවශ්‍ය පුවත් වාර්තා කරන ලෙසට ස්වාධීන රූපවාහිනි සේවයේ සභාපතිනිය විසින් ප්‍රාදේශීය වාර්තාකරුවන්ට දන්වා ඇති බවට විපක්ෂනායක මහින්ද රාජපක්ෂ මහතා විසින් සිදු කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවත් මේ සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවත් එම නාලිකාවේ ප්‍රවෘත්ති හා කාලීන සිදුවීම් අංශයේ කළමනාකාර චතුරංග ද අල්විස් මහතා නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.

පෙරේදා (21) මහින්ද රාජපක්ෂ විපක්ෂනායකවරයා විජේරාමයේ සිය නිල නිවසේ පැවති පොදුජන පෙරමුණු පක්ෂ නායක හමුවේදී කළ මෙම ප්‍රකාශයට එරෙහිව කඩිනම් හා විධිමත් පරීක්ෂණයක් සිදු කරන ලෙස ඊයේ (22) ස්වාධීන රූපවාහිනි සේවය වෙනුවෙන් චතුරංග ද අල්විස් මහතා -අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් කළේය. ඉන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ විපක්ෂනායකවරයාගේ එම ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍ය බවයි. තම නාලිකාව අපකීර්තියට ලක් කිරීම සඳහා එම ප්‍රකාශය සිදු කොට ඇති බවයි. එසේම විපක්ෂනායකවරයාගේ ප්‍රකාශයට විමල් වීරවංශ හා උදය ගම්මන්පිල මන්ත්‍රිවරුන්ද සහය පළ කරමින් ඒඅවස්ථාවේදී ප්‍රකාශ සිදු කරන බවත් ඒ සියල්ල සැලසුම් සහගතව නාලිකාව අපකීර්තියට පත් කිරීම සඳහාම කළ ප්‍රකාශ බවත් ඔහු එහිදී අවධාරණය කළේය.

එසේම කූඨ ලේඛන සැකසීම පිළිබඳව අධිකරණය ඉදිරියේ චූදිතයෙකු බවට පත්ව සිටින විමල් වීරවංශ මෙවැනි ප්‍රකාශ පිළිබඳව සැකයක් මතුවන බවත් නාලිකාවට අපහාස කිරීම සඳහා මන්ත්‍රිවරයා විසින් අසත්‍ය හා කූඨ ලේඛන සකස් කිරීමටද නොහැකියාවක් නොමැති බවත් ඔහු සඳහන් කළේය.

මාතෘකා