ලෝකයේ පෙණහල්ල ගිනි ගනී

 ඡායාරූපය:

ලෝකයේ පෙණහල්ල ගිනි ගනී

ලෝක ඔක්සිජන්වලින් 20%ක් නිපදවන

ලෝක ජෛව විවිධත්වයෙන් 10%ක ජීවීන් වාසය කරන

ලංකාව මෙන් 84 ගුණයක් විශාල

කි.මී. 3,200ක් ඈත ඇති සාඕ පවුලෝ නහරය දුමාරයෙන් වැසී යයි

වර්ග කිලෝමීටර මිලියන 3ක් අහස පුරා දුමාරය

මිලියන ගණන් සතුන් පණපිටින් දැවේ

ලෝකයේ විශාලම වැසි වනාන්තරය වන ඇ‍ෙම්සන් වැසි වනාන්තරය මේ වන විට පෙර නොවූ විරූ අයුරින් වාර්තාගත වේගයකින් ගිනිගෙන දැවෙමින් පවතින බව නාසා ආයතනයේ දත්ත වාර්තා පෙන්වා දෙයි.

මෙම ගින්න ගොවිතැන් කිරීම හෝ ගොවිතැන් කිරීම සඳහා ඉඩම් අත්පත් කර ගැනීම හේතුවෙන් ඇති වී තිබෙන බව බ්‍රසීල මාධ්‍ය වාර්තා කර තිබිණි. කෙසේ වෙතත් මෙම ගින්න සතියකට ආසන්න කාලයක් ක්‍රමයෙන් වර්ධනය වී ඇති අතර විනාශයට පත් වී ඇති වනාන්තරයේ භුමි ප්‍රමාණය මෙතෙක් නිල වශයෙන් ගණනය කර නොමැත.

මෙම ගින්න බ්‍රසීලියානු ඇමසොනාස්, රොන්ඩෝනියා, පැරා සහ මැටෝ ග්‍රෝසෝ ප්‍රාන්තවලට වැඩි බලපෑමක් එල්ල කර ඇති අතර ගින්නෙන් දැවී ගිය ප්‍රදේශ මුළුමනින්ම විනාශයට පත්ව ඇති බවත්, විශාල ශාක හා සත්ව ප්‍රජාවක් මේ වන විට මියගොස් ඇති බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ගින්නේ දුමාරයෙන් රටෙන් අඩකට ආසන්න ප්‍රමාණයක් ආවරණය වී ඇති අතර අසල්වැසි පේරු, බොලිවියාව සහ පැරගුවේ දක්වා දුමාරය පැතිරෙමින් ඇති බවත් පැවසේ. ඇමසොනාස් ප්‍රාන්තයේ සිට අසල පිහිටි පැරා සහ මැටෝ ග්‍රෝසෝ ප්‍රාන්තවලට දුමාරය පැතිරී ඇති අතර සැතපුම් 2,000කට වඩා (කිලෝමීටර් 3,200) දුරින් පිහිටි නගරයක් වන සාඕ පවුලෝහි පවා ගින්නේ දුමාරය පැතිරෙමින් පවතින බවටද චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සිතියම් කර ඇත.

ලෝකයේ ඔක්සිජන් වලින් සියයට 20 කට වඩා වැඩි ප්‍රමාණයක් නිපදවීමේ හැකියාව සහ ලොව ජෛව විවිධත්වයෙන් සියයට 10ක් පමණ ජීවින් ජනනයකිරීමේ හැකියාව පවතින්නේ ඇමසන් වැසි වනාන්තරයට වීම හේතුවෙන් ‘පෘථිවියේ පෙණහලු’ ලෙස ඇ‍ෙම්සන් වනය හඳුන්වන අතර එය දේශගුණය නියාමනය කිරීමේදී විශාල කාර්යභාරයක් ඉටුකරයි.

අගෝස්තු මස ආරම්භවීමත් සමග එම ප්‍රදේශයේ ගිනි තැබීම් වැඩි වීම සම්බන්ධයෙන් බ්‍රසීලය හදිසි තත්වයක් ප්‍රකාශයට පත්කොට ඇති අතර මේ වසරේ මේ දක්වා ගිනි තැබීම් 73,000කට ආසන්න ප්‍රමාණයක් සිදු කර ඇති බව බ්‍රසීලයේ අභ්‍යවකාශ පර්යේෂණ මධ්‍යස්ථානයක් විසින් අනාවරණය කරගෙන තිබේ. එය 2018ට වඩා සියයට 83ක වර්ධනයක් සහ 2013න් පසු වාර්තා වූ ඉහළම සංඛ්‍යාව බව රොයිටර් පුවත් සේවය වාර්තා කරයි.

බ්‍රසීල රජය විසින් මෙම ගිනි තැබීමවලට එරෙහිව හරියාකාරව ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මේ වන විට එරට ජනාධිපති ජෙයාර් බොල්සොනාරෝද ජනතාවගේ විවේචනයට ලක්ව තිබේ. වන විනාශයට එරෙහිව ඔහු සතුව ක්‍රියාමාර්ග නොමැති බවට චෝදනා කරන එරට ජනතාව, ඇමසන් වනයේ දැව සංහාරය හා එම ප්‍රදේශයේ ගොවිතැන දිරිමත් කිරීමට ජනාධිපතිවරයා ක්‍රියා කරමින් සිටින බවටද චෝදනා කරයි.

වසර මිලියන 56ත් 34ත් අතරතුර බිහි වූ බවට සැලකෙන ඇමේසන් වැසි වනාන්තරය ශාක සහ සත්ත්ව විශේෂ මිලියන 3කට නිවහන වේ. කාබන්ඩයොක්සයිඩ් මෙට්‍රික් ටොන් බිලියන 2.4ක් උරා ගන්නා ඇමේසන් වනාන්තරයෙන් ප්‍රධාන වශයෙන් පෝෂණය වන ඇමේසන් ගංගාව තත්ත්පරයට ජලය ගැලුම් මිලියන 55ක් මුදා හරියි.

[මංජුල සමරසේකර]

මාතෘකා