මව්බිම සියලු තර්ජනවලින් ආරක්‍ෂා කිරීමට සහතික වෙනවා

 ඡායාරූපය:

මව්බිම සියලු තර්ජනවලින් ආරක්‍ෂා කිරීමට සහතික වෙනවා

ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා ශ්‍රී ලංකා යුද්ධ හමුදාවේ 23 වන යුද්ධ හමුදාධිපති ලෙස සිය ධුරයේ රාජකාරි බාරගැනීමෙන් අනතුරුව මව්බිම සියලු තර්ජනවලින් ආරක්‍ෂා කිරීමට සහතික වන බව නිවේදනයක් නිකුත් කරමින් ප්‍රකාශ කරයි. නව යුද හමුදාධිපතිවරයා නිකුත් කළ නිවේදනය මෙසේය.

මාතෘ භුමියේ ස්වෛරීත්වය, භෞමික අඛණ්ඩතාවය හා ඒකීයභාවය ආරක්ෂා කිරීමට යුධ හමුදාවට නායකත්වය ලබාදීම සිය ප්‍රථම කාර්යභාරය බව නව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. මුළු මහත් ශ්‍රී ලංකා වාසීන්ගේ ආරක්ෂාව උදෙසා ආරක්ෂක විධිවිධානයන් ක්‍රියාත්මක කිරීමට උපදේශයන් ලබාදීම සිය දෙවන කාර්යයභාරය බවත් සියලුදෙනාගේ සුබ සාධනය වෙනුවෙන් ක්‍රියා කරමින් රණවිරු පවුල්වල සුබ සාධන අවශ්‍යතා සපුරාලීම තෙවන කාර්යය ලෙසද යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පෙන්වා දෙයි.

ලෝකයේ ඕනෑම හමුදාවක් තම රටේ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරකින්නටත් නිදහස්ව හා ප්‍රජාතන්ත්‍රවාදීව ජිවත්විමේ වටපිටාව නිර්මාණය කිරීමටත් බැඳී සිටින බව ශවේන්ද්‍ර සිල්වා මහතා පවසයි. ඕනෑම රාජ්‍යයක් පිළිගන්නා සම්මතයන් ආරක්ෂා කරමින් හා ජාත්‍යන්තර මානුෂවාදී අයිතීන් රැකෙන ලෙස යුධ සමයේදී ක්‍රියාකළ බවත් වර්තමානයේදී අප රටේ ජිවත් වන දමිළ, මුස්ලිම්, බර්ගර්, මැලේ ආදී සියලු ජාතීන්ට එක මවකගේ දරු කැළක් මෙන් සහජීවනයෙන්, සංහිඳියාවෙන් හා සහෝදරත්වයෙන් ජීවත්වීමේ අයිතිය උදාකර දීමට අවශ්‍ය වටපිටාව සම්පාදනය කිරීම සැමගේ වගකීම බව යුධ හමුදාපතිවරයා පෙන්වා දෙයි.

විශේෂයෙන් ඕනෑම තත්ත්වයකට මුහුණදීම උදෙසා යුධ හමුදා බුද්ධි අංශ ප්‍රතිසංවිධානය කොට සිය කාර්යක්ෂමතාව ඉහළ තලයකට ගෙන ඒමත් ජාත්‍යන්තර හමුදාවන් ක්‍රියාත්මක කරනු ලබන ක්‍රමවේදයන් අධ්‍යයනය කොට එම අත්දැකීම් අප බුද්ධි අංශ වෙත ලබාදීම පිළිබඳව දැඩි අවධානය යොමු කර ඇති බවද ශවේන්ද්‍ර සිල්වා මහතා වැඩිදුරටත් අවධාරණ්‍ය කරයි.  මාතෘ භූමියේ ආරක්ෂාව වෙනුවෙන් දිවි හිමියෙන් කටයුතු කරමින් තමා වෙත පැවරෙන සියලු වගකීම් හා කාර්යයන් සාර්ථකව මෙන්ම ක්‍රමානුකූලව ඉටු කිරීමටත් ශ්‍රී ලංකා යුධ හමුදාවේ කීර්ති නාමය හා ජීව ගුණය අඛණ්ඩව පවත්වාගෙන යාමට කටයුතු කරන බව නව යුධ හමුදාපති ලුතිතන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සදහන් වෙයි.