'මෙහෙවර පියස' ජනපති අතින් විවෘත කෙරේ

 ඡායාරූපය:

 'මෙහෙවර පියස' ජනපති අතින් විවෘත කෙරේ

රටේ ශ්‍රම බළකායට ඵලදායී සහ විශිෂ්ට සේවාවක් එකම වහලක් යටින් ලබාදීමේ අරමුණ ඇතිව ඉදිකළ කම්කරු දෙපාර්තමේන්තුවේ 'මෙහෙවර පියස' ගොඩනැඟිල්ල ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් පෙරේදා (20) පෙරවරුවේ විවෘත කෙරිණි.

2009 වර්ෂයේදී ඉදිකිරීම් ඇරඹූ මෙම ගොඩනැඟිල්ල සඳහා වැය කර ඇති මුදල රුපියල් මිලියන 8,500කි. දැනට රජය සතු විශාලතම හා උසම ගොඩනැඟිල්ල මෙය වන අතර මහල් 32කින් යුත් ගොඩනැඟිල්ල නවීන පහසුකම්වලින් සමන්විතය.

කම්කරු අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව සහ සේවා නියුක්තිකයන්ගේ බාරකාර අරමුදල් මණ්ඩලය මෙහි ස්ථානගත කර තිබෙන අතර ශ්‍රී ලංකා මහ බැංකුවේ මෙන්ම දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ අංශ කිහිපයක්ද, මහල් 05කින් යුත් රථ ගාලක් මෙන්ම මහජනතාවගේ අවශ්‍යතා වෙනුවෙන් පොදු පහසුකම්ද නව ගොඩනැඟිල්ලේ ස්ථාපිත කර තිබේ. සමරු ඵලකය නිරාවරණය කර නව ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිවරයා එහි නිරීක්ෂණ චාරිකාවකද නිරත විය.

අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ, අමාත්‍ය රංජිත් මද්දුමබණ්ඩාර, වඩිවේල් සුරේෂ් යන මහත්වරුන්ද කම්කරු කොමසාරිස් ජනරාල් ඒ. විමලවීර මහතා ඇතුළු නිලධාරීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.