ටිකිරා ඇතින්න පිළිබඳ පැතිර යන චෝදනා සියල්ල අසත්‍යයයි

 ඡායාරූපය:

ටිකිරා ඇතින්න පිළිබඳ පැතිර යන චෝදනා සියල්ල අසත්‍යයයි

අසේල කුරුළුංවශ

ශරීර සෞඛ්‍ය පිරිහුණු වයෝවෘද්ධ ටිකිරා නම් ඇතින්න මහනුවර ඇසළ පෙරහරට සම්බන්ධ කර ගැනීම සම්බන්ධව සමාජ මාධ්‍යය මගින් එල්ල කරන චෝදනා සියල්ල අසත්‍ය බව එම ඇතින්නගේ හිමිකරු වන එල්.එල් තිලකරත්න මහතා පවසයි.

මහනුවර විෂ්ණු දේවාලය නියෝජනය කරමින් තුන්වන රන්දෝලි පෙරහරේ ගමන් කළ ඊටිකිරා ඇතින්න ආහාර ජීර්ණය නොවීමේ රෝගයකින් මාස 06 ක පමණ කාලයක් පීඩා විඳී බවත් ඊට ප්‍රතිකාර කරන අතර රෝගය සුවවීම ප්‍රාර්ථනය කරමින් භාරයක් වූ බවත් ඒ මහතා කීය.

රෝගය සුව වීමෙන් පසු රන්දෝලි පෙරහර එකකට හෝ දෙකකට සම්බන්ධ කරන බවට විෂ්ණු දෙවියන්ට භාරයක්වූ බවත් එම භාරය ඔප්පු කිරීමට මෙලෙස සතා පෙරහරට එක් කළ බවත් තිලකරත්න මහතා කීය.

ඇතින්නට ප්‍රතිකාර කළ වෛද්‍යවරු සතා දිනකට කිලෝ මීටර දෙකක පමණ දුරක් ඇවිද්දවන ලෙස දැනුම්දී තිබෙන බවත් කරුණු නොදැන සමාජ මාධ්‍යය මගින් වැරදි ප්‍රචාර ගෙන යෑම පිළිකුලෙන් යුතුව හෙළ දකින බවත් හෙතෙම කීවේය.

මෙම සතා තිලකරත්න මහතා විසින් පෙරහරට සම්බන්ධ කරනු ලැබුවේ කිිසිදු මුදලක් අය නොකර බවත් එතුමා තම ඇතින්නගේ ජීවිතය බේරා දෙන ලෙස දෙවියන් ගෙන් කළ ඉල්ලීම ඉෂ්ඨ සිද්ධ කර ගැනීමට අවස්ථාව විෂ්ණු දේවාළය මගින් ලබාදී තිබෙන බවත් හීලෑ අලි ඇතුන් හිමිකරුවන්ගේ සංගමයේ ලේකම් ධම්සිරි බණ්ඩාර කරුණාරත්න මහතා කීය.

මහනුවර ඇසළ පෙරහර මංගල්‍යයට ඇතෙකු,අලියෙකු හෝ ඇතින්නක සම්බන්ධ කරන්නේ පශු වෛද්‍යවරුන් සතා පරීක්ෂාවට ලක්කර උගේ සෞඛ්‍යය තත්ත්වය පිළබඳව සෑහීමකට පත්වුවහොත් පමණක් බවත් මෙම ඇතින්න පෙරහරේ ගමන් කළේද වෛද්‍ය නිර්දේශ ලබා ගැනීමෙන් අනතුරුව බවත් ඒ මහතා කීය.

මෙම ඇතින්න සිව්වන රන්දෝලි පෙරහරට  සම්බන්ධ කර නොගන්නා බව මහනුවර විෂ්ණු දේවාළයේ බස්නායක නිළමේ මහේන් රත්වත්තේ මහතා තමන්ට දැනුම් දුන් බව මධ්‍යම පළාත් ආණ්ඩුකාර කීර්ති තෙන්නකෝන් මහතා කීය.

ඡායාරූප - රුවන් මීගම්මන

 

 

මාතෘකා