2017දී වාර්තා වුණේ සහරාන් ගැන විතරයි

2017දී වාර්තා වුණේ සහරාන් ගැන විතරයි

ත්‍රස්ත ක්‍රියා ගැන කිසිදු සඳහනක් තිබුණෙ නෑ

අගමැති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව හමුවේ කියයි

ඊයේ පස්වැනි පිටුවෙහි පළවූ කොටසේ ඉතිරිය

නලින්ද ජයතිස්ස - මේ තොරතුරු දුන්න අයට අවශ්‍ය වුණේ තවුහිද් ජමාත් තහනම් කරන්න. එවැනි ඉදිරි පියවරක් ගැන 2017දී ආරක්ෂක මණ්ඩලය අවධානය යොමු කළේ නැද්ද?

අගමැතිතුමා - සාමාන්‍යයෙන් අන්තවාදී සංවිධාන තහනම් කරන්න ක්‍රියා කළේ නම් හොඳයි. පළමුවෙන්ම කිව්වේ ඒ අයට විරුද්ධව නඩු දාන්න හොයලා බලන්න කියලා. එතනදී අපිට වාර්තා ලැබුණේ සහරාන් ගැන. ත්‍රස්තවාදී ක්‍රියා ගැන නෙවෙයි.

නලින්ද ජයතිස්ස - දැන් වාර්තා වෙනවා ඉන්දියාවේ, පාකිස්තානයේ පූජකවරුන් වීසා අරං ඇවිල්ලා කියලා. මද්‍රසා පාසල් නියාමනයට හා මෙවැනි සංක්‍රමණිකයන් නියාමනයට අවධානය යොමු කළේ නැද්ද?

අගමැතිතුමා - ඇත්තවශයෙන් මද්‍රසා පාසල් ගැන විශේෂ කියමනක් එදා තිබුණේ නෑ. මුස්ලිම් කටයුතු අමාත්‍යාංශයට බාර දීලා තිබුණේ. එහෙත් මම දන්න හැටියට බුද්ධි වාර්තාවල සටහන් තිබුණේ නෑ. ඒ ගැන විටින් විට පැමිණි පුද්ගලයන් ගැන සොයාගන්න ලැබුණේ පාස්කු ප්‍රහාරයෙන් පස්සේ. මට විදේශ කටයුතු ඇමති මේ ගැන ක්‍රියාමාර්ග ගන්න කටයුතු කළා. ප්‍රහාරයට පෙර වාර්තා තිබුණේ නෑ.

නලින්ද ජයතිස්ස - අපේ රටේ රාජ්‍ය භාෂා දෙකට අමතරව අරාබි අකුරු භාවිතය පිළිබඳව කාත්තන්කුඩි හා විවිධ පළාත්වල යම් යම් සංවිධාන තිබුණා. මේ අරාබිකරණයට අවධානය යොමුවෙලා තිබුණේ නැද්ද?

අගමැතිතුමා - මේ සංක්‍රමණිකයන් හිටියේ නැ‍ඟෙනහිරට වඩා වෙනත් ප්‍රදේශවල. ආයතන තිබුණේ වෙනත් ප්‍රදේශවල. එක එක පාසල්වලට ගියාද කියලා මට වාර්තා නෑ. මේ තොරතුරු ලැබු‍ණු හැටියේ මම කිව්වා මේ ඔක්කොම අහෝසි කරලා මේ අය ලංකාවෙන් පිටකරන්න කියලා. තවත් පිරිස් කම්කරුවන් ලෙස ලංකාවට පැමිණියා. මේ කණ්ඩායම් ගැන හොයලා බලන්න කිව්වා. ප්‍රහාරයට පෙර මේ තොරතුරු කිසිවක් තිබුණේ නෑ. අරාබි භාෂාව භාවිත කරන බව කිව්වට රාජ්‍ය කාර්යාලවල භාවිතයක් සිදුවන්නේ නෑ. පළාත් සභා කාර්යාලවල නෑ.

නලින්ද ජයතිස්ස - අප්‍රේල් 09 වැනිදා බුද්ධි ලිපිය ප්‍රහාරයට කලින් ඔබතුමාට ලැබුණද?

අගමැතිතුමා - නෑ මට ලැබුණේ නෑ. ආරක්ෂක අංශයට ලැබුණු ලිපිය මගේ අගමැති ආරක්ෂක අංශයට ලැබුණේ නෑ. පොලිස්පතිතුමා පසුව පිළිගත්තා අගමැති ආරක්ෂක අංශයට ලැබුණේ නෑ කියලා.

නලින්ද ජයතිස්ස - ප්‍රහාරයට කලින් දවසේ (2019.04.20) යම් නිශ්චිත තොරතුරු ප්‍රමාණයක් ලැබිලා තිබුණා. බෝම්බ අටක් ගැන සහ හෝටල් ගැන.

අගමැතිතුමා - අඩුම ගානේ එහෙම ලිපියක් ගැනවත් මගේ ආරක්ෂක අංශය දන්නේ නෑ. මම දැනගත්තේ 21 වැනිදා ප්‍රහාරයෙන් පස්සේ. මම වහාම මගේ ආරක්ෂක අංශය කැඳවලා ඇහුවා මේ ගැන.

නලින්ද ජයතිස්ස - හරීන් ප්‍රනාන්දු ඇමතිගේ පියා දැනගෙන හිටියා.

අගමැතිතුමා - සාමාන්‍යයෙන් තාත්තා කියපු එක බුද්ධි තොරතුරක් නෙමෙයි.

නලින්ද ජයතිස්ස - අගමැතිට, ආරක්ෂක රාජ්‍ය ඇමතිට මේ වැදගත් තොරුතුරු නොගියානම් ජාතික අඩුපාඩුවක් තිබෙනවා.

අගමැතිතුමා - බරපතළ අඩුපාඩුකමක් සිදුව තිබෙනවා.

නලින්ද ජයතිස්ස - රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සහ ඔබතුමා අතර සම්බන්ධය කුමක්ද?

අගමැතිතුමා - රාජ්‍ය බුද්ධි ප්‍රධානියා සාමාන්‍ය දේවල් මා සමඟ දුරකථනයෙන් පවසා තිබෙනවා. නමුත් මේ තොරතුරු ලැබුණේ නෑ.

ජයම්පති මහතා - ඔබ මීට පෙර කීපවරක් අගමැති වුණා. ඒ අවස්ථාවලදී ආරක්ෂක කවුන්සිලය නිතිපතා රැස් වුණාද?

අගමැතිතුමා - ‍ජේ. ආර්. ජනපති කාලේ මම සභාපති වුණා. සතියට සැරයක් මුණගැසුණා. විශේෂයෙන් 83න් පසුව ජූලි මාසයට පෙරත් රැස් වුණා. මොකද යාපනයේ ගුවන් හමුදා නිලධාරීන්ට වෙඩි තබා තිබුණා. එනිසා සතිපතා මුණ ගැසුණා. ප්‍රේමදාස මහතාගේ යුගයේ චන්ද්‍රිකා ජනපති සමයේත් රැස්වීම් පැවැත්වුවා. එදා වැඩියෙන් හමුදා ක්‍රියාකාරකම් ගැන කතා වුණා. එතැනින් පස්සේ එවැනි තත්ත්වයක් තිබුණේ නෑ. ආරක්ෂක මණ්ඩලය රැස්වුණාම බුද්ධි වාර්තා කියනවා. සතිපතා රැස්වීම උවමනායි කියලා මට කියන්න බෑ. විටින් විට තිබ්බා.

[ස්වර්ණා විජේකෝන්] [රෝෂන් තුෂාර]