විදුලි පාරිභෝගිකයන්ට ඉදිරියේදී පෙරගෙවුම් විදුලි මීටරයක්

 ඡායාරූපය:

විදුලි පාරිභෝගිකයන්ට ඉදිරියේදී පෙරගෙවුම් විදුලි මීටරයක්

ඉදිරියේදී විදුලි පාරිභෝගිකයන්ට ලංකා විදුලිබල මණ්ඩලයෙන් පෙරගෙවුම් විදුලි මීටරයක් හඳුන්වා දීමට පියවර ගන්නා බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය.  අමාත්‍යවරයා පසුගියදා මහනුවර නිල සංචාරයේදී අස්ගිරි මහානායක ස්වාමීන්වහන්සේ බැහැ දැකීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“ලංකා විදුලිබල මණ්ඩලයට වසර 50ක් සමරන අවස්ථාවේදී පාරිභෝගිකයා මුල්කරගෙන කටයුතු කිරීම ආරම්භ කරනවා. දීර්ඝ කාලයක් ඒකාධිකාරියක් පැවති ලංකා විදුලිබල මණ්ඩලය, මේ වනවිට පාරිභෝගිකයා මුල් කරගනිමින් දැන් කටයුතු කරන්න පටන් අරගෙන තිබෙනවා. ඒ අනුව නව විදුලි බිල් ක්‍රමයක් ඇති කිරීම, ගෘහස්ත නව විදුලි සබඳතා සතියක් වැනි කාලයකින් ලබාදීම, පාරිභෝගික ගැටලු වෙනුවෙන් ක්ෂණික විසඳුම් ලබාදීම වැනි නව ක්‍රියාමාර්ග රාශියක් දියත් කිරීමට අද ලංවිම සමත් වෙලා තිබෙනවා.

ඒ වගේම මේ වනවිට පරිහරණය කරනු ලබන ගෘහස්ත විදුලි මීටර් වෙනුවට පෙරගෙවුම් විදුලි මීටරයක් ඉදිරියේදී හඳුන්වාදීමට අපි මේ වනවිට කටයුතු සකස් කරමින් පවතිනවා. සැප්තැම්බර් මස අග වනවිට මේ නව මීටර් ව්‍යාපෘතිය දියත් කිරීමට හැකිවෙනු ඇතැයි බලාපොරොත්තු වෙනවා.