ඔක්තෝබර් මාසයේ සිට සියලුම ආගමික ස්ථාන විදුලි බිලෙන් නිදහස්

 ඡායාරූපය:

ඔක්තෝබර් මාසයේ සිට සියලුම ආගමික ස්ථාන විදුලි බිලෙන් නිදහස්

ආගමික ස්ථාන විදුලි බිලෙන් නිදහස් කිරීම මේ වසරේ ඔක්තෝබර් මාසය වනවිට ක්‍රියාත්මක කරන බව විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ පෙරේදා (03) මහනුවර ශ්‍රී දළදා මාළිගාවට ජෙනරේටර් යන්ත්‍රයක් ලබාදිමේ වැඩකටයුතු වෙනුවෙන් එහි පැමිණි අවස්ථාවේදී මාධ්‍ය විසින් නැගූ ප්‍රශ්නවලට පිළිතුරු සපයමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා මෙසේද කීය.

“පන්සල්, පල්ලි, කෝවිල්, මුස්ලිම් පල්ලි ආදියට ආදායමක් නොමැති නිසා යම් සීමාවක් සහිතව විදුලි බිලෙන් නිදහස් කිරීමට මම බලාපොරොත්තු වෙනවා. රටේ මේ වනවිට එසේ විදුලි බිලෙන් නිදහස් කළයුතු ආගමික ස්ථාන 39,800ක් තිබෙනවා. ඒ වෙනුවෙන් මිලියන 1100ක් පමණ වියදම් කරනවා. සූර්ය බලය පාවිච්චි කරලා මෙම ආගමික ස්ථානවලට නොමිලයේ විදලිය ලබාදීම සිදු කිරීමට කටයුතු කරනවා. ජනාධිපතිතුමා, අගමැතිතුමා ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය දැනුවත් කිරීමෙන් අනතුරුව ලබන සැප්තැම්බර් මාසයේ අග වනවිට මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වෙනවා.

ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් ඉතිහාසයේ ගැටලුවලට මට පිළිතුරු සපයන්න බැහැ. නමුත් වර්තමානයේ සහ අනාගතයේදී කිසිම අක්‍රමිකතාවක්, වංචාවක්, දූෂණයක් සිදුවන්න මම ඉඩ දෙන්නේ නැහැ. නරකයි කියන සෑම දෙයක්ම අපි හොඳ බවට පත් කරමින් යනවා. ඉදිරියේදී අපි විදුලි කප්පාදුවක් ඇති නොවන පරිදි තමයි රැඩිකල් ආකාරයෙන් කටයුතු කරගෙන යන්නේ. අපි ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ වැඩ කරලා හරියන්නේ නැහැ. නූතන ලෝකයට ගැළපෙන අකාරයට කටයුතු කළ යුතුයි. අපේ වැඩවලට මිල සූත්‍ර එන්නේ නැහැ. ලංකාවේ ඉන්නේ කතාකාරයෝ පමණයි. වැඩකාරයෝ නැහැ. වැඩක් කරන පුද්ගලයාට තමයි ප්‍රශ්න ඇති වෙන්නේ. වැඩ නොකරන කෙනා හොඳින් ඉන්නවා. වැඩ කරන කෙනාට තමයි නිරන්තරයෙන් බනින්නේ”