මීතොටමුල්ල නඩුවට සැප්තැම්බර් 17 වැනිදා ප්‍රසන්න යළි කැඳවයි

 ඡායාරූපය:

මීතොටමුල්ල නඩුවට සැප්තැම්බර් 17 වැනිදා ප්‍රසන්න යළි කැඳවයි

ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග මහතා ඇතුළු විත්තිකරුවන් තුන්දෙනෙකුට එරෙහිව ගොනු කර තිබෙන නඩුවේ විභාගය සැප්තැම්බර් මස 17 වැනිදා දක්වා කල් තැබීමට කොළඹ මහාධිකරණය අද (01) නියම කළේය.

 

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු මංජුල තිලකරත්න මහතා ඉදිරියේ පස්වරු 1.30ට විභාගයට ගැනීමට නියමිතව තිබූ නමුත් විනිසුරු මංජුල තිලකරත්න මාතාව වැලිකඩ සිරකරු ඝාතන නඩුව විභාග කරන ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලේ සාමාජිකයෙකු වශයෙන් කටයුතු කරමින් අද දින එම නඩු කටයුත්තට සහභාගි වීමට නියමිතව ඇති නිසා මෙම නඩුවේ විභාගය සැප්තැම්බර් මස 17 වැනිදා දක්වා කල් තැබීමට තීන්දු කෙරිණ.

 

ඉකුත් 2015 වසරේ බස්නාහිර පළාත් ප්‍රධාන අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ අවධියේ මීතොටමුල්ල ප්‍රදේශයේ වගුරු බිමක් ගොඩ කිරීමට අවශ්‍ය කටයුතු ඉටුකර දීම සඳහා ව්‍යාපාරිකයෙකුගෙන් රුපියල් මිලියන 64ක මුදලක් ඉල්ලා තර්ජනය කළේ යැයි චෝදනා කරමින් ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රසන්න රණතුංග ඔහුගේ බිරිඳ වන මොරීන් රණතුංග සහ ඇයගේ ඥාති සොහොයුරකු වන නරේෂ් ෆාරික් යන අයට එරෙහිව නීතිපතිවරයා මෙම නඩුව ගොනු කර තිබේ. මෙම නඩුවේ තුන්වන විත්තිකරු ලෙස නම් කර සිටින නරේෂ් ෆාරික් නමැත්තා මේ වන විට අධිකරණය මගහැර විදේශගතව සිටින අතර ඔහු නොමැතිව නඩු විභාගය පැවැත්වීමට අධිකරණය තීරණය කර ඇත.