ත්‍රස්ත අභියෝගය ජය ගැනීමට මෙරට සියලු ආරක්ෂක අංශ නව ජවයකින් ශක්තිමත් විය යුතුයි

 ඡායාරූපය:

ත්‍රස්ත අභියෝගය ජය ගැනීමට මෙරට සියලු ආරක්ෂක අංශ නව ජවයකින් ශක්තිමත් විය යුතුයි

රට හමුවේ මතුව ඇති ත‍්‍රස්ත අභියෝගය ජය ගැනීමට මෙරට සියලු ආරක්ෂක අංශ නව ජවයකින් ශක්තිමත් විය යුතු බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අවධාරණය කරයි. ඊට අවශ්‍ය නායකත්වය පහසුකම් සහ මඟපෙන්වීම නොමඳව ලබාදීමේ වගකීම තමා ඉටුකරන බව ජනාධිපතිවරයා අවධාරණය කළේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරින් සමඟ ඊයේ (24) පස්වරුවේ ශ‍්‍රී ලංකා පදනම් ආයතනයේ පැවති විශේෂ හමුවකදීය.

රට තුළ මතු වූ හදිසි තත්ත්වය හමුවේ ගෙවී ගිය දින කිහිපය තුළ පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුදෙනා ජීවිත පරිත්‍යාගයෙන් ඉටු කළ මෙහෙවර එහිදී අගය කළ ජනාධිපතිවරයා රටේ සහ මහජන ආරක්ෂාව වෙනුවෙන් ශක්තිමත් සහ පුළුල් වැඩපිළිවෙළක් ඔස්සේ අඛණ්ඩව ඉදිරි පියවර කි‍්‍රයාත්මක කිරීමේ වැදගත්කම  පැහැදිලි කළේය.

රට තුළ මතුවූ බලාපොරොත්තු නොවූ මෙම හදිසි තත්ත්වය හමුවේ මෙරට ආරක්ෂක අංශවලට මෙන්ම ජනතාවට නව අභියෝගයකට මුහුණදීමට සිදු වුවත් ශ‍්‍රී ලංකා ජාතියේ අතීත අත්දැකීම් මෙන්ම නොමඳ ජාත්‍යන්තර සහය හමුවේ එම අභියෝගය ජය ගැනීම කිසිසේත් අපහසු නොවනු ඇති බවට ජනාධිපතිවරයා එහිදී විශ්වාසය පළ කරන ලදී. ඉකුත් සිව් වසරේදී රට තුළ තහවුරු කළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස සමඟ මෙම අනපේක්ෂිත තත්ත්වය පිළිබඳ කවුරුන් කුමන ආකාරයේ විග‍්‍රහ, විවේචන සහ මත පළ කළද මෙම සිදුවීම පිළිබඳ සැබෑ අවබෝධයකින්, අවංකව සහ රට ගැන හැඟීමකින් යුතුව කටයුතු කිරීම සියලුදෙනාගේ වගකීම බව එහිදී ජනාධිපතිවරයා කියා සිටියේය.

ජාත්‍යන්තර වශයෙන් සංවිධානය වූ මෙම ත්‍රස්තවාදී ව්‍යාපාරය වසර 30ක් අප රට මුහුණ දුන් එල්.ටී.ටී.ඊ ත‍්‍රස්තවාදයට වඩා වෙනස් වූවක් බව සඳහන් කළ ජනාධිපතිවරයා කියා සිටියේඒ සඳහා මුහුණදිය හැක්කේ ඊට අනුකූල උපක‍්‍රම මඟින් බවයි. ලොව රටවල් රැසකට අභියෝගයක් වූ මෙම ත‍්‍රස්ත ව්‍යාපාරය මර්දනය සඳහා මේ වන විට ලොව බලවත් රටවල් අතගසා තිබෙන අතර ශ‍්‍රී ලංකාවේ මතුවූ තත්ත්වය පිළිබඳවද එම සියලුදෙනාගේ අවධානය යොමු කර එම ත‍්‍රස්ත ව්‍යාපාරය ශ‍්‍රී ලංකාවෙන් තුරන් කර දැමීම සඳහා  අවශ්‍ය මාර්ගෝපදේශන, තාක්ෂණික දැනුම මෙන්ම සියලු සහය ලබාදීමට  එම රටවල් මේ වන විට ඉදිරිපත්ව සිටින බවද ජනාධිපතිවරයා අවධාරණය කළේය.

එමෙන්ම ජනාධිපතිවරයා වැඩිදුරටත් පෙන්වා දුන්නේ මත්ද්‍රව්‍ය ජාවාරම, අවි ජාවාරම මෙන්ම ත‍්‍රස්තවාදයද අද ලෝකයේ එකම ජාලයක් බවයි. මත්ද්‍රව්‍ය සහ අපරාධ මැඩලීමට ප‍්‍රබල සටනක් දියත් කළ මෙම අවස්ථාවේ මතුවූ මෙම ත‍්‍රස්තවාදයද එකම මූලාශ‍්‍රයක් විය හැකි බවත් රට හමුවේ ඇති මෙම සියලු අභියෝග සාමුහිකව ජය ගැනීමට ශ‍්‍රී ලාංකීය ජාතියේ ශක්තිය දැනුම, අවබෝධය මෙන්ම ජාත්‍යන්තර සහායද උපරිමයෙන් මෙම අවස්ථාවේ භාවිතයට ගත යුතු බවත් ජනාධිපතිවරයා පැවසීය.  මෙම ඛේදජනක සිදුවීමෙන් ජීවිතක්ෂයට පත්වූ පොලිස් නිලධාරීන් තිදෙනා වෙනුවෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ සහෝදර නිලධාරින්  වෙතත්, ඔවුන්ගේ පවුල්වල ඥාතීන් වෙතත් සිය බලවත් කනගාටුව සහ සංවේගය පළ කිරීමටද ජනාධිපතිවරයා එහිදී කටයුතු කළේය.