ජීවිත බිලිගත් ත්‍රස්තවාදී අන්තවාදී කල්ලි සොයා දැවැන්ත මෙහෙයුමක්

 ඡායාරූපය:

ජීවිත බිලිගත් ත්‍රස්තවාදී අන්තවාදී කල්ලි සොයා දැවැන්ත මෙහෙයුමක්

රට තුළ බෝම්බ පුපුරවා අහිංසක මිනිස් ජීවිත බිලිගත් ත්‍රස්තවාදී අන්තවාදී කල්ලි අපරාධකරුවන් සොයා රටපුරා දැවැන්ත මෙහෙයුමක් ආරම්භ කර ඇති බවත් රට පුරා පරීක්ෂා සිදුකර මෙම ත්‍රස්තවාදීන් අත්අඩංගුවට ගෙන එම ත්‍රස්තවාදී සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කර රට තුළින් පළවා හැර ඉතා කෙටි කාලයක් තුළ මේ රටේ ජන ජීවිතය යථා තත්ත්වයට පත් කරවන බවත් යුද්ධ හමුදාපති ලුතිනන් ජෙනරාල් මහේෂ් සේනානායක මහතා පවසයි.

 

ඊයේ සිට ආරම්භ කර ඇති මෙම මෙහෙයුම්වලින් මේ වන විට මෙම ත්‍රස්ත ක්‍රියාවලට සම්බන්ධ සැකකරුවන් පනහකට ආසන්න පිරිසක් අත්අඩංගුවට ගෙන ඇත. වාහන විසිපහක් පමණ පරික්ෂාවට ලක් කර සැකකටයුතු යතුරුපැදි දෙකක් පුපුරුවා හැර තිබේ. යුද්ධ හමුදාවේ වැදගත්ම අංශ වන බුද්ධි අංශත් විශේෂ බළකාය වැනි ත්‍රස්තයන් සොයා පසුගිය කාලයේදී මෙහෙයුම් දියත් කළ පළපුරුදු දක්ෂ භට පිරිස් මෙම මෙහෙයුම්වලට යොදවා තිබේ. යුද්ධ හමුදා බුද්ධි මෙහෙයුම්ද වැඩි කර ඇත.