මරාගෙන මැරෙන බෝම්බකරුවන් නවදෙනෙකුගෙන් අටදෙනෙකු හදුනා ගැනේ

 ඡායාරූපය:

මරාගෙන මැරෙන බෝම්බකරුවන් නවදෙනෙකුගෙන් අටදෙනෙකු හදුනා ගැනේ

පසුගිය ඉරිදා කොච්චිකඩේ, කටාන හා මඩකළපුව ප‍්‍රදේශවල සිදුවූ ප‍්‍රහාරවලට සම්බන්ධව මිය ගිය මරාගෙන මැරෙන බෝම්බකරුවන් නවදෙනෙකුගෙන් අටදෙනෙකුම මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් හඳුනාගෙන ඇතැයි ජනමාධ්‍ය කැබිනට් නොවන ඇමති හා ආරක්ෂක රාජ්‍ය ඇමති රුවන් විජේවර්ධන මහතා පවසයි.

මෙම ප‍්‍රහාරය සිදුකළ සංවිධානයේ සාමාජිකයින් ශ‍්‍රී ලංකාවේ ධනවත් පවුල්වලට අයත් විදේශයන්හි උසස් අධ්‍යාපනය ලැබූ අය බව පරීක්ෂණවලදී හෙළිදරව් වී ඇති බවද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී විදේශ මාධ්‍ය සඳහා අද (24) පැවැත්වූ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා මේ බව ප්‍රකාශ කළේය.

මෙම පිරිසට විදේශ මූල්‍ය ආධාර හා විදේශ පුහුණුව ලැබී ඇති බවට තොරතුරු ලැබී තිබේ. මෙම ප‍්‍රහාරය පිළිබඳව සැකපිට පුද්ගලයින් 60 ක් මේ වන විට අත්අඩංගුවට ගෙන ඇති අතර ඉන් 32 කුගෙන් මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් ප‍්‍රශ්න කරමින් සිටින බවද ඒ මහතා කීය. ශ‍්‍රී ලංකා බුද්ධි අංශ එක්සත් ජනපදය, ඉන්දියාව, ඔස්ට්‍රේලියාව, බ්‍රිතාන්‍යය ආදී රටවල බුද්ධි අංශ සමඟ සමීපව කටයුතු කරන අතර ඇමරිකන් ඒෆ්. බී අයි. පරික්ෂණ නිළධාරීන්ද පසුගිය ඉරිදා මෙරට සිදුවූ බෝම්බ ප‍්‍රහාරයේ පරීක්ෂණ පැවැත්වීමට පැමිණ සිටින බවද අමාත්‍ය රුවන් විජේවර්ධන මහතා පැවසීය. ඉදිරි දින කිහිපය තුළ මෙම ප‍්‍රහාරවලට සම්බන්ධ සියලුදෙනාම අත්අඩංගුවට ගැනිමට හැකිවෙතැයි විශ්වාස කරන බවද අමාත්‍යවරයා සඳහන් කළේය. රජයේ ප‍්‍රවෘත්ති අධ්‍යක්ෂ ජනරාල් නාලක කලුවැව,පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර හා යුද හමුදා මාධ්‍ය ප‍්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු යන මහත්වරුන්ද මෙම මාධ්‍ය හමුවට සහභාගි විය.