අද ජාතික ශෝක දිනයක්

 ඡායාරූපය:

අද ජාතික ශෝක දිනයක්

පෙරේදා (21) සිදු වූ බෝම්බ ප්‍රහාරවලින් මියගිය සහ තුවාල ලැබූ පුද්ගලයන් සිහි කර අද (23) දින ජාතික ශෝක දිනයක් බවට ප්‍රකාශයට පත් කිරීමට රජය තීරණය කර ඇත.

ඊයේ (22) පෙරවරුවේ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් ජාතික ආරක්ෂක මණ්ඩලය රැස් වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන තිබේ. රටේ සහ ජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම සඳහා පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට අවශ්‍ය බලය ලබාදීම වෙනුවෙන් ත්‍රස්තවාදය මර්දනයට අදාළ වගන්ති පමණක් ඊයේ රාත්‍රී 12.00 සිට හදිසි නීති රෙගුලාසි යටතේ ගැසට් කිරීමටද එහිදී තීරණය කර තිබේ.

එසේම ඊයේ සිදු කළ ත්‍රස්ත ක්‍රියාවට අදාළ සංවිධාන, ඊට අදාළ සැකකරුවන් සහ අනුබල දුන් තවත් බලවේග සිටී නම් එකී සියලු විනාශකාරී බලවේග සම්පූර්ණයෙන්ම මැඩලීම පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු අතර ඒ පිළිබඳ ඉදිරි පියවර ගැනීමට ජනාධිපතිවරයා විසින් පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවට උපදෙස් දෙනු ලැබීය.

ශ්‍රී ලංකාවේ සිටින සියලු විදේශ තානාපතිවරුන් සහ මහකොමසාරිස්වරුන් කැඳවා රටේ වත්මන් තත්ත්වය පැහැදිලි කිරීමට ජනාධිපතිවරයා අපේක්ෂා කරන අතර එහි දී ශ්‍රී ලංකාව වෙනුවෙන් ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමටද කටයුතු කරන බව ඊයේ නිවේදනයක් නිකුත් කරමින් ජනාධිපති මාධ්‍ය ඒකකය කියා සිටියේය. දේශීය ත්‍රස්තවාදීන්ගේ මෙම ක්‍රියා පසුපස ජාත්‍යන්තර ත්‍රස්තවාදී සංවිධාන සිටින බවට බුද්ධි අංශ වාර්තා කර ඇති බැවින් ඔවුන් මර්දනය කිරීම සඳහා මෙලෙස ජාත්‍යන්තර සහාය ඉල්ලා සිටීමට නියමිතය.

මේ අතර කතෝලික දේවස්ථාන සහ ආරක්ෂාව අවශ්‍ය සියලු ස්ථානවලට විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් සකස් කරන ලෙසද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ආරක්ෂක අංශවලට උපදෙස් දී තිබේ. රට තුළ ඇතිව තිබෙන තත්ත්වය සැලකිල්ලට ගෙන මෙම ඉදිරි ක්‍රියාමාර්ග වහාම ක්‍රියාත්මක කිරීමට පොලිසියට සහ ත්‍රිවිධ හමුදාවටත්, ආරක්ෂක අමාත්‍යාංශයටත් ජනාධිපතිවරයා විසින් උපදෙස් දී ඇත.

[දිනුක මලින්ද හේරත්]

මාතෘකා