ලංකාවට වූ විපත ගැන ලොවම කම්පා වෙයි

 ඡායාරූපය:

ලංකාවට වූ විපත ගැන ලොවම කම්පා වෙයි

ලොවම කම්පාවට පත් කරමින් ලංකාවේ විවිධ ප්‍රදේශ කතෝලික දේවස්ථාන 03ක්, හෝටල් 04ක් සහ නිවාස සංකීර්ණයක් ඇතුළු ස්ථාන 08ක ඊයේ (21) සිදු වූ බෝම්බ පිපිරීම්වලින් පුද්ගලයන් 207ක් මියගොස් තවත් පුද්ගලයන් 450 දෙනෙක් තුවාල ලැබූහ.

ඊයේ පෙරවරු 8.45ට පමණ කොටහේන කොච්චිකඩේ දේවස්ථානය, කටාන කටුවාපිටිය දේවස්ථානය සහ මඩකලපුව සියොන් දේවස්ථානයේ එම පිපිරීම් සිදු වූ අතර එම අවස්ථාවේ පාස්කු ඉරිදා දේව මෙහෙයන් සඳහා විශාල පිරිසක් එම දේවස්ථානවලට පැමිණ සිට තිබේ.

එමෙන්ම ඊයේ පෙරවරුවේම කොළඹ ෂ්‍රැන්ග්‍රිලා, සිනමන් ග්‍රෑන්ඩ්, කිංග්ස්බරි යන සුපිරි හෝටල් තුනේ සහ ඊයේ පස්වරුවේ දෙහිවල සත්වෝද්‍යානය අසල පිහිටි හෝටලයක පිපිරීම් සිදුවිය. දෙහිවල හෝටලයේ සිදු වූ පිපිරීමෙන් පුද්ගලයන් දෙදෙනෙකු මියගොස් තවත් පුද්ගලයන් දෙදෙනෙකු තුවාල ලබා කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබේ. එසේම ඊයේ පස්වරුවේ දෙමටගොඩ මහවිල නිවාස සංකීර්ණය අසලද පිපිරීම් දෙකක් සිදු විය. එහිදී සිදු කළ සෝදිසි මෙහෙයුමක් අතරතුර පොලිසිය සහ තවත් පිරිසක් අතර වෙඩි හුවමාරුවක්ද සිදු වූ අතර එහිදී පොලිස් නිලධාරීන් තිදෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. මෙම පිපිරීමත් සමඟ එම නිවාස සංකීර්ණයේ ගින්නක් ඇති වූ අතර එම ගින්න පාලනය කිරීමට ගිනිනිවන හමුදාව කටයුතු කළේය. මේ වනවිට මෙම සිදුවීමට අදාළව පුද්ගලයන් 07 දෙනෙකු අත්අඩංගුවට ගැනීමට ආරක්ෂක අංශ සමත් වී තිබේ. මෙම පිපිරීම් හේතුවෙන් විදේශිකයන් 32දෙනෙකු පමණ ජීවිතක්ෂයට පත්වී ඇති බව වාර්තා වේ. එසේම කොළඹ ජාතික රෝහලේ මෘත ශරීර 66ක් හා තුවාල කරුවන් 260ක්, මීගමුව මහ රෝහලේ මෘත ශරීර 104ක් හා තුවාල කරුවන් 100ක්, කළුබෝවිල මහ රෝහලේ මෘත ශරීර 02ක් සහ තුවාල කරුවන් 06 දෙනෙක්, මඩකලපුව රෝහලෙන් මෘත ශරීර 28ක් සහ තුවාල ලැබූවන් 51ක්, රාගම රෝහලේ මෘත ශරීර 7ක් හා තුවාල කරුවන් 32ක් වාර්තා වූ අතර ගම්පහ රෝහලේ එක් තුවාලකරුවෙක් ප්‍රතිකාර ලබයි. සියලු රෝහල්වල ආරක්ෂාව දැඩි කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා ඊයේ (21) පැවති මාධ්‍ය හමුවකදී කියා සිටියේය. කටාන කටුවාපිටිය දේවස්ථානයේ සිදුවූ පිපිරීමෙන් පුද්ගලයින් 62 දෙනෙකු මියගොස් තවත් පුද්ගලයින් 110 දෙනෙකු පමණ මීගමුව රෝහලේ ප්‍රතිකාර ලබන බව මීගමු රෝහලේ අධ්‍යක්ෂවරයා පැවසීය.

එසේම මඩකලපුව දේවස්ථානයේ සිදු වූ පිපිරීමෙන් පුද්ගලයින් 27 දෙනෙකු මියගොස් පුද්ගලයින් 51 දෙනෙකු මඩකලපුව රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව අනිල් ජාසිංහ මහතා පැවසීය. එසේම තුවාල ලැබූ පුද්ගලයන් කඩිනමින් රෝහල්වෙත ගෙන ඒම සඳහා සුවසැරිය ගිලන්රථ සේවය විශාල සේවයක් ඉටු කළේය.

මෙම සිදුවීම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීම සඳහා දුරකථන අංක 02ක් හඳුන්වා දී තිබේ. පොලිස් මූලස්ථානයේ විශේෂ මෙහෙයුම් මැදිරියේ 0112-322485 අංකයෙන් හෝ විදේශිකයන් සම්බන්ධ තොරතුරු, විදේශ කටයුතු අමාත්‍යාංශයේ 0112-323015 යන දුරකථන අංක ඇමතීමෙන් ලබාගත හැකිය. එමෙන්ම පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කියා සිටියේ ඇඳිරි නීතිය පවතින අවස්ථාවේ අත්‍යාවශ්‍ය සේවා සඳහා පිටත්ව යන්නේ නම් ඊට අදාළ රාජකාරී හැඳුනුම්පත, විදේශ ගමනක් සඳහා යන්නේ නම් විදේශ ගමන් බලපත්‍රය, අත්‍යාවශ්‍ය ගමනක් සඳහා පිටත්ව යන්නේ නම් අදාළ පොලිස් ස්ථානයෙන් ලබාගන්නා ලද බලපත්‍රය රැගෙන යා යුතු බවයි.

 [දිනුක මලින්ද හේරත්] [රසිකා හේමමාලි]

ඡායා [අන්තර්ජාලයෙනි]

මාතෘකා